Lanka Net Gossip

සුනාමි රළ පහරට හසුවී වසර 11 කට පසු නැවත ගෙදරට

Loading...

සුනාමි රළ පහරට හසුවී හම්බන්තොටදී 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා අතුරුදන් වූ දැරිවියක් වසර 11 කට පසු නැවත දෙමාපියන්ට මුණ ගැසී ඇත.ෂරීෆා අස්රා මව්ලානා නමැති එම දැරිය සුනාමි රළ පහරට හසුවී අතුරුදන් වන විට වයස අවුරුදු 3 යි, මාස 9 කි. ඇය සිය පියා සමග හම්බන්තොට මුහුදු වෙරළේ සිටියදී සුනාමි රළ පහරට හසුවී තිබේ.
ඇයට සිය දෙමාපියන් මුණ ගැසෙන්නේ මුහුණු ‍පොත හරහා ඇය ගැන පළවී තිබුණු සටහනක ඥාතියෙක් දැකීමෙනි. ඒ අනුව ඇගේ දෙමාපියන් කල්මුණේ පිහිටි පරිවාස නිවාසයක සිටි ඇයව මුණගැසී ඇත්තේ පසුගිය දෙසැම්බරයේදීය.
දෙමළ පවුලක්ද ඇයට එහිදී අයිතිවාසිකම් කියන්නට වූ බැවින් අධිකරණයේ පිහිට පැතීමට ෂරීෆාගේ දෙමාපියන්ට සිදුව තිබේ. දීර්ඝ ලෙස කල්මුණේ අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු ඇගේ නියම දෙමාපියන් හඳුනාගෙන ඇයව දෙමාපියන්ට භාර දී ඇත.
ෂරීෆාගේ පියා පවසන්නේ සිය දියණිය මියගිය බවට මරණ සහතිකයක්ද රජය දුන්නද ඒ සියල්ල තමන් ප්‍රතික්ෂේප කළ බවය. දියණිය ජීවතුන් අතර ඇතැයි නිරන්තරයෙන් විශ්වාස කළ බවද ඔවුහු පවසති.
ෂරීෆාගේ පියා රැකියාවේ නිරතව සිටින්නේ අකුරැස්ස ඩි‍පෝවේය. ඔවුන් පදිංචිව සිටින්නේ හම්බන්තොට ගල්වල ප්‍රදේශයේය. සුනාමි රළ පහර පැමිණි දින ඇය සිය පියා සමග මුහුදු වෙරළට ගොස් වෙර‍ලේ වැලිවලින් කුඩා කන්දක් සකස් කර ඇත. එය ඇගේ මතකයේ අදටත් රැඳී තිබේ. ඇයව හඳුනා ගැනීමට එම මතකයද ඉවහල් වී ඇත.
ෂරීෆා අතුරුදන් වීමෙන් පසු ඇගේ දෙමාපියන් සුනාමියෙන් අවතැන් වූ ජනතාව රැඳී සිටි සෑම කඳවුරකටම ගොස් ඇය ගැන සොයා බලා තිබේ. 2005 ජනවාරි මාසයේදී දෙබරවැව සුනාමි කඳවුර පරීක්ෂා කර ඇත්තේ දෙමාපියන් නොමැති වයස අවුරුදු පහක පමණ දැරිවියක් එහි සිටින බව දැනගත් බැවිනි. ඒ යනවිට දැරිවිය රැගෙන එහි සිටි යුවළක් කඳවුරෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුව ෂරීෆාගේ ඡායාරූපයක්ද සහිතව ‍පෝස්ටරයක් ඇගේ දෙමාපියන් මොණරාගල සිට තිස්සමහාරාමය දක්වා සෑම තැනම අලවා සොයා දෙන අයකුට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක්ද දෙන බව සඳහන් කර ඇත. එහෙත් ඔවුන්ට ෂරීෆා හමුවී නැත.
ෂරීෆාගේ ඥාතියෙක් මුහුණු ‍පොතේ හුවමාරු වූ සුනාමියෙන් අවතැන් වූ දැරිවියකගේ බව සඳහන් ඡායාරූපයක් දෙසැම්බරයේ දැක එම ඡායාරූපය ෂරීෆාගේ  හැඩරුවට සමාන බව දෙමාපියන්ට පවසා තිබේ. ඒ ඔස්සේ යමින් ඇයව කල්මුණේදී සොයාගෙන ඇත.
ඇයට දෙමළ නමක් ඒ වනවිට තිබි ඇති අතර මොණරාගල ප්‍රදේශයේ යුවළක් හදා වඩාගෙන ඇති බව කියයි. එම යුවළ හදිසියේ    මිය යාමෙන් පසු ඇය පරිවාස නිවාසයේ රඳවා තිබේ.
ෂරීෆාට අයිතිවාසිකම් කියන්නට දෙමාපිය යුවළක්ම ඉදිරිපත් වීම හේතුවෙන් ඇයගේ නියම දෙමාපියන් හඳුනා ගැනීමේදී කුඩා කල ඇය බිම ඇද වැටීමකින් නළලට වූ තුවාලයක් සහ නිකටේ ඇති ලපයක් ඉවහල් වී ඇත. ෂරීෆාගේ අසල්වැසි නිවසක කාන්තාවක් එම තුවාල කැළල හඳුනාගෙන තිබේ.
ගයාන් කුමාර වීරසිංහ
Loading...

No comments:

Powered by Blogger.