Lanka Net Gossip

ශ්‍රී ලංකාව විදුලිය උදෙසා විශේෂ බලශක්තීන් වෙත යොමුවනුයේ ඒ අනුවය.

Loading...

විදුලි බිල බින්දුවට සූර්යබල ශක්තිය හරියට එකතු කළොත් ලක්ෂපාන පමණක් ඇති


කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වූ ජී.ඩබ්. විමලසුරේන්ද්‍රයන් අදින් දශක ගණනාවකට පෙර කෙසෙල්ගමු ඔය ඔස්සේ සංචාරයක යෙදුණේ කැලණි ගං මිටියාවතේ ඇතැයි කියැවෙන රත්‍රං නිධි පිළිබඳ ගවේෂණය කිරීමටය. එහෙත් ගමනේදී ඔහු දුටු ලක්ෂපාන ඇල්ල ප්‍රමුඛ දියඇළි නිසා රත්‍රංවලට වඩා වටිනා දායාදයක් රටට හිමිවිය. ඒ ජල විදුලියයි.
එලෙස හඳුනාගත් දියඇළි කේන්ද්‍රකර ඇරඹූ විදුලි බලාගාර නිසා ජාතිය ආලෝකමත් විය. එහෙත් 1970 දශකයේ අගභාගයේ රටේ වූ ශීඝ්‍ර කාර්මික දියුණුව නිසාත් ඒ වනවිට සිදුවෙමින් පැවැති කාලගුණ වෙනස්කම් නිසා වැහි රටාවේ සිදුවූ වෙනස්කම් නිසාත් ජල විදුලිය ප්‍රමාණවත් නොවන තැනට කටයුතු සිදුවිය. ශ්‍රී ලංකාව විදුලිය උදෙසා විශේෂ බලශක්තීන් වෙත යොමුවනුයේ ඒ අනුවය.
අවාසනාවකට අප තෝරා ගත් විකල්ප බලශක්තීන් වූයේ තාප බලාගාර, ගල් අඟුරු බලාගාර වැනි ඒවාය. මෙකී බලාගාරවල ශක්තිජනක මාධ්‍යය වූ ගල්අඟුරු හා ‍පොසිල ඉන්ධන අප සතු නොවූ බැවින් ඒ සියල්ල විදේශයන්ගෙන් ගෙන ආ යුතු විය. ඊට විශාල ලෙස විනිමය වැයවූ අතර කාබන් විමෝචනය නිසා විශාල පාරිසරික ගැටලුද ඇතිවිය. මෙවන් ප්‍රශ්නකාරී බලශක්ති ක්‍රම මත යැපෙන්නට අප උත්සාහ දරද්දී නොමි‍ලේම මහා ශක්තියක් අපට ලබාදෙන සූර්ය බලය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපතේ යන්නට විය.
1980 දශකය වන විට සූර්ය බලය මගින් විදුලිය නිපදවීමට අප ඉතා අලස උත්සාහයක් දැරූ බව සැබෑය. එහෙත් ඒ වන විට මුළු ලොවම සූර්ය බලය මත යැපෙමින් විදුලිය ජනනය ලාභදායී ව්‍යාපාරයක් කරගන්නට සමත්ව සිටින ලදී. දිනෙන් දින ඉහළ යන විදුලි අර්බුදයට ප්‍රතිකර්මයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේද ප්‍රායෝගිකව සාර්ථක කරගත හැකි සූර්ය බලශක්ති ජනන ව්‍යාපෘතියකට අත ගසා ඇත. ක්ෂුද්‍ර  මාපක ක්‍රමය නැතහොත් නෙට් මීටරිං සිස්ටම් යන නමින් හඳුන්වන මේ නව සූර්ය බල ව්‍යාපාරය මගින් සෑම නිවසකම විදුලි බලාගාරයක් බවට පත්කර ජාතික විදුලිබල සැපයුමේ පංගුකාරයන් කරන්නට සැලසුම් කර ඇත.
සැබැවින්ම නෙට් මිටරිං ක්‍රමය මින් දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ගෘහස්ථව භාවිතාවූ සූර්යබල කට්ටලවලට වඩා ඉඳුරාම වෙනස්ය.
මෙම නව ක්‍රමයේදී ඔබගේ නිවසේ වහලය මත PV පැනල් (Play Voltege) නම් ප්‍රමාණයෙන් විශාල සූර්ය පැනල ස්ථානගත කරනු ලැබේ. මෙකී පැනලවලට අවශෝෂණය කරගන්නා සූර්ය බලය ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවක් බවට පත්කර එය ඉන්වටර් උපකරණයට ලබාදෙයි. ඉන් 220V ප්‍රමාණයට වර්ධනය කරනා ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවන් නිකුත් කරන්නට හැකි වෙයි. මුළු දහවල් කාලයේම සූර්ය පැනල කට්ටලය අඛණ්ඩව විදුලිය නිපදවන අතර ඉන් ඔබගේ පරිභෝජනයට ඇවැසි ප්‍රමාණය ගෙන ඉතිරි වන ප්‍රමාණය ජනනිත විදුලි බල පද්ධතියට මුදාහැරිය හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. මෙලෙස ඔබ විසින් ජාතික විදුලිබල පද්ධතිය ලබාදෙන විදුලිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ඒකකයට රු. 14 බැගින් ඔබට ගෙවනු ලැබේ. ඒ අනුව නෙට් මීටරිං ක්‍රමය යටතේ ඔබේ විදුලි බි‍ලේ මේ මස අය කිරීම යටතේ සඳහන් වනුයේ  රු. 0.00 පමණි.
මෙලෙස ඔබගේ නිවසේ ජාතික පද්ධතිය විදුලිය මුදාහරිනුයේ ඔබගේ විදුලි මනුව හරහාය. එහෙත් ඒ සඳහා නවීන ද්විත්ව කාර්ය අංකිත විදුලි මාපකයක් (Duwal Parpase Digital Meter) භාවිත කළ යුතුය. එය විදුලිබල මණ්ඩලය මගින් ඔබගේ නිවසට සපයයි. මෙම ද්විත්ව කාර්ය මාපකය හරහා ඔබ දහවල් කාලයේ ජාතික පද්ධතියට මුදාහරින නිවසේ නිෂ්පාදිත විදුලිය මෙන්ම රාත්‍රී කාලයේ ජාතික විදුලි බල පද්ධතියෙන් නිවසට ලබා ගන්නා විදුලි බල ප්‍රමාණයද වෙන වෙනමම ගණනය කරනු ලබයි. මාසය අවසානයේ ඔබට විදුලි බිල ලෙස ලැබෙනුයේ ඔබ ජාතික පද්ධතියට ලබාදුන් විදුලියෙන් ඔබ ලබාගත් විදුලි ඒකක ප්‍රමාණය ගණනය කර ඉතිරිවන ප්‍රමාණයයි.
සාමාන්‍ය නිවසක සවි කිරීමට කිලෝවෝට් 3ක ප්‍රමාණයේ සූර්ය කට්ටලයක් ප්‍රමාණවත් වෙයි. ඒ සඳහා කිලෝවොට් 1ක ප්‍රමාණයේ කට්ටල තුනක් ඔබේ නිවසේ වහලය මත ස්ථානගත කළ යුතුය. මෙම කිලෝවොට් 3ක කට්ටලය මගින් වොට් 3601ක පමණ ක්ෂමතාවක් ජනනය කරගත හැක. ඒ සාමාන්‍ය ගෘහවිදුලි සැපයුමත් (වෝල්ට් 230, ඇම්පියර් 5) ලෙසිනි. මෙවැනි කිලෝ වොට් තුනක කට්ලයකට සාමාන්‍ය වශයෙන් විදුලි ඒකක 360 පමණ මාසිකව නිපදවිය හැක. සාමාන්‍ය වශයෙන් නිවසක විදුලි බල පරිභෝජනය ඒකක 150ක සීමවේ රැඳී සිටියහොත් ඔබට මාසිකව ඒකක 210ක් ජාතික විදුලිබල පද්ධතියට මුදාහළ හැක. එවන් තත්ත්වයකදී ඔබ මණ්ඩලයෙන් රාත්‍රියේදී මිලදී ගන්නා විදුලියට ගෙවිය යුතු මුදල ඔබ දිවා කල සපයන විදුලියට වඩා අඩු අගයක් ගන්නා බැවින් ඔබට විදුලි බිලෙන් මුළුමනින්ම මිදිය හැක.
එපමණක්ද නොව ශීතකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණද සිත් සේ භාවිත කළ හැක. මුළු නිවසම වායුසමනය කර ගැනීමටද ඔබට හැක.
මේ වන විට මෝටර් රථ ලෝකයේ දියුණුම අවස්ථාව බවට පත්ව ඇත්තේ විදුලි රථ භාවිත කිරීමය. එහෙත් ඔබේ නිවසේ විදුල සැපයුමෙන් මෝටර් රථය  ආරෝපණය කිරීමට යෑම ඉන්ධන වියදම ඉක්මවා යා හැක. යම් හෙයකින් ඔබ සූර්ය පැනල භාවිතා කිරීමට හුරුපුරුදු වුවහොත් ඔබේ මෝටර් රියද ඉන්ධන හා විදුලි බිලෙන් තොරව ධාවනය කළ හැකි වනු ඇත. එය ඔබට පමණක් නොව රටේ ආර්ථිකයට හා පරිසරයටද හිතකරය.
රටේ මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් 50ක් මෙම නව ක්‍රමය අනුව සිය නිවෙස්වල ක්ෂුද්‍ර මාපක උපකරණ ක්‍රමය භාවිත කළහොත් එමගින් සියලු තාප සහ ගල්අඟුරු බලාගාර වසා දැමිය හැක. එනිසා විශාල පරිසර දූෂණයක් වළකා  ගැනීමට මෙන්ම ජාතික ධනය ඩොලර් මිලියන ගණනක් වාර්ෂිකව ආරක්ෂා කර ගත හැකිවනු ඇත.
ලොව පුරා මෙම ක්‍රමයට විදුලිය නිපදවන ආයතන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට ලක් කෙරේ. ඒ අනුව එවැනි ආයතන පරිසර හිතකාමී ECO Friendly ලෙස ලැයිස්තුගත කෙරේ. ජාත්‍යන්තරව එම කාණ්ඩයේ ලැයිස්තු ගතවන සංචාරක හෝටල්, රෝහල් වැනි ආයතනවලට ගනුදෙනුකරුවන්ගේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි.
නෙට් මීටරිංග් ක්‍රමය සඳහා ඔබට මූලිකව (කි.වොට් 3ක ඒකකයක් සඳහා) රු. ලක්ෂ හතක් පමණ වැය කළ යුතු වෙයි. ඔබ මේ ක්‍රමය නිවසට හඳුන්වා දෙන්නේ නම් ඊට පූර්ණ මූල්‍ය පහසුකම් ලබාදීමට රජයේ මැදිහත් වීමෙන් මූල්‍ය ආයතන සූදානමින් ඇත. එබැවින් ස්වයං රැකියාවක් ලෙස විදුලිය නිපදවා මණ්ඩලයට අලෙවි කිරීමට ඔබට හැකිවනු ඇත.
ලෝකයේ සෑම රටකම වසර පුරා හිරු එළිය ලැබෙන්නේ නැති අතර පැය 12ක දිවා කාලයක් ලැබෙන්නටද නැත. එවැනි රටවල් චන්ද්‍රිකා තාක්ෂණය යොදවා සූර්ය කිරණ පරාවර්තනය ක්‍රම පවා අත්හදා බලමින් සිටියි. මෙම ක්‍රමය යටතේ එකලා මෙන්ම තෙකලා විදුලියද පහසුවෙන් නිපදවා ගත හැක.
කි.වොට් 3ක පද්ධතියක් සඳහා ඔබ වැය කරන මුදල වසර 7කින් පමණ උපයා ගත හැක. ඉන්පසු ඔබට කැමති පරිදි තව තවත් පැනල නිවසේ වහලය මත ස්ථාපිත කර ගැනීමෙන් ව්‍යාපාරික මට්ටමෙන් විදුලිය නිපදවා එය විදුලිබල මණ්ඩලයට අලෙවි කළ හැක.ඒ අනුව නෙට් මීටරිං ක්‍රමය, විදුලි බි‍ලේ බරෙන් ඔබ නිදහස් කරනවාට අමතරව පරිසරය සහ විදේශ විනිමය ආරක්ෂා කරමින් රැකියා ප්‍රශ්නයට විසදුම් ගෙන එන්නටත් සමත් වන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
Loading...

No comments:

Powered by Blogger.