Lanka Net Gossip

තම බිරිඳගේ කන්‍යාභාවය සම්බන්ධයෙන් සැකකොට ගිනි තබා බිරිය ඝාතනය කළ සැමියා ‍පෝරකයට

Loading...

තම බිරිඳගේ කන්‍යාභාවය සම්බන්ධයෙන් සැකකොට ඉතා වංචනික ලෙස බිරිඳ රවටා ඇය මිනුවන්ගොඩ සිට නුවරඑළිය දක්වා කැඳවාගෙන පැමිණ පිදුරුතලාගල රක්ෂිතයේ ලවර්ස්ලීප් දියඇල්ලට ඉහළ කැලෑ රෝද තුළදී ගෙල මිරිකා ඇගේ සිරුරට පෙට්‍රල් බෝතලයක් වත්කොට ගිනිතබා ඝාතනය කිරීමේ වරදට ඇයගේ සැමියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඊයේ (29) දින මරණීය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණීය දණ්ඩනයට නියම වූයේ දෙවල‍පොල වල්පිටමුල්ල පදිංචි ආටිගල විතානගේ ඉන්දික රුවන් කුමාර යන අයටය.
1998 මැයි 19 වන දින සිට 1998 සැප්තැම්බර් 09 යන කාලය අතරතුරදී ගම්පහ මිනුවන්ගොඩ දෙවල‍පොල වල්පිටමුල්ල අංක 186 හි පදිංචිව සිටි අනූෂා ගයාත්‍රි නමැති කාන්තාව ඇගේ ස්වාමි පුරුෂයා විසින් මෙසේ ඝාතනය කර ඇත. ඒ සම්බන්ධව 1998.09.09 වෙනි දින නුවරඑළිය ‍පොලීසියට නිර්නාමික දුරකථන පණිවුඩයකින් පිදුරුතලාගල රක්ෂිතය තුළ පුළුස්සා මරා දැමූ කාන්තාවකගේ මළසිරුරක් ඇති බව පැමිණිල්ලක් ලැබි තිබුණි. සිද්ධිය සම්බන්ධව නුවරඑළිය ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණය කිරීමේදී මියගිය කාන්තාවකගේ හිස්කබල සහිත කොණ්ඩයද ඇගේ අත්බෑගයේ කොටසක්ද සෙරෙප්පුවක්ද පෙට්‍රල් බෝතලයක මූඩියක් හා කාන්තාව හැඳ සිටි ඇඳුමක කොටසක්ද සිරුරේ අස්ථි කොටස් කිහිපයක්ද හඳුනාගෙන තිබුණි.
තම බිරිඳ ඝාතනය කළ විත්තිකරු යළි ගම්පහ මිනුවන්ගොඩ බිරිඳගේ නිවසට ගොස් ඇගේ දෙමව්පියන්ට බැණ වැදී ඇත්තේ, තම බිරිඳ ඔවුන් විසින් සඟවා තබාගෙන තමාව නොමඟ යවන බවට චෝදනා කරමිනි. ඒ අතරතුරදී බිරිඳ විසින් ලියන ලදැයි කියන ලිපියක් ඇයගේම නිවසට ලැබි ඇති බවත් එහි තමා හොඳින් පසුවන බවත් කිසිවකු තමා ගැන සෙවීමෙන් වළකින ලෙසත් ලිපියේ සඳහන් විය.
අදාළ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව නුවරඑළිය ‍පොලීසිය කළ පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස සිද්ධිය සිදුවී වසරකට පසු 1999.08.20 වෙනි දින කඳ‍පොළ කෝට්ලොජ් ප්‍රදේශයේදී නුවරඑළිය ‍පොලිස් අපරාධ විමර්ශන අංශයේ එවක ස්ථානාධිපතිව සිටි ‍පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතා සැකකරු අදාළ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකිරීමෙන් අනතරුව සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත. තමා ගැන කිසිවක් නොසොයන ලෙසත් තමා හොඳින් ජීවත්වන බවත් කියමින් ගෙදරට එවනු ලැබූ ලිපියක් විත්තිකරු විසින්ම ලියා තැපෑලට යොමුකරන ලද්දක් බව අත්අකුරු විමර්ශන වාර්තාවෙන් අනාවරණය විය. එවකට මහනුවර හිටපු අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ.බි. සෙනෙවිරත්න මහතා සිරුරේ කොටස් සම්බන්ධව කරනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකාරියගේම සිරුරේ කොටස් බව තහවුරු විය.
සිද්ධිය වූ කාලය තුළ තම බිරිඳ මරා දැමීම සඳහා විත්තිකරු කිරිබත්ගොඩ ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් බෝතලයක්ද රැගෙන තම බිරිඳ නුවරඑළියට කැඳවාගෙන පැමිණ ඇත්තේ පස්වරු 5.30ට පමණය. නුවරඑළිය සිට කඳ‍පොළ බස් රථයෙන් ගොස් ගල්පාලම හන්දියෙන් බැස තේවතු මැදින් පිදුරුතලාගල රක්ෂිතයට යද්දී තමා මරන්න ගෙනයනවාදැයි ඇය විත්තිකරුගෙන් ප්‍රශ්න කොට ඇති බවටද කරුණු අනාවරණය වී තිබිණි. පිදුරුතලාගල රක්ෂිතයේ ඉහළ කොටසේ ගවර යායක් මැද්දේදී පස්වරු 6.30ට පමණ අදාළ මනුෂ්‍ය ඝාතනය සිදුකළ සැකකරු රාත්‍රී කාලයේදී කෝට්ලොජ් බස්නැවතුම්‍පොළේ නිදා සිට පසුදා යළි මිනුවන්ගොඩ බලා ගොස් ඇති බව කියැවේ.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව සැකකරුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී දීර්ඝ කාලයක නඩු විභාගයකින් අනතුරුව 2015 අගෝස්තු 08 වෙනි දින මහාධිකරණයට යොමුකොට තිබූ නඩුවේ තීන්දුව ඊයේ (29) දින ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සහන්‍යා නාරම්පනාවේ මෙනෙවිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් තිලක හේරත් මහත්මිය පෙනී සිටියාය.

ඩබ්.එම්. සුභසිංහ, නුවරඑළිය විශේෂ
Loading...

No comments:

Powered by Blogger.