Lanka Net Gossip

බිරිඳගේ ශරීර අවයව විකුණා දැමූ අධමයකු ගැන මහවෙන් ඇහෙන කතාව

Loading...

niluka
මිනිස්‌ අවයව ජාවාරම සාහසිකය, අමානුෂිකය, එහෙත් එය මේ වන විටත් ලොව පුරා ව්‍යාප්තව හමාරය. මුදල ඉදිරියේ හොඳ, නරක තේරෙන්නේ නැත. මිනිසා කෑලි කපා විකිණීම හෝ ජාවාරමක්‌ බවට පත්වන්නේ එබැවිනි. මේ ජාවාරම කොතරම් ම්ලේච්ඡ තැනකට පත්ව ඇත්දැයි කිවහොත් තම මව, පියා, සැමියා හෝ බිරිඳගේ, දරුවන්ගේ අවයව පවා අධික මිලකට විකුණා දැමීමට තරම් මිනිසා තිරිසන් ව සිටී.
මේ වග සනාථ කරන කතාවක්‌ පසුගිය දිනක කුරුණෑගල, මහව ප්‍රදේශයෙන් වාර්තා විය. “ස්‌වාමිපුරුෂයකු” යෑයි කියා ගන්නා අධමයකු විසින් සිය ආදරණීය බිරිඳගේ වකුගඩු ඇතුළු ශරීර අවයව විකුණා දමා තිබුණේ සාංසාරික බැඳීම් උතුම් මිනිස්‌ ආචාරධර්මයන් සියල්ල පයට පෑගෙන දුහුවිල්ලක්‌ තරම්වත් නොසලකා හරිමිනි.
එය නොඇසිය යුතු කතාවකි. එහෙත් මෙවැනි අධමයන් රටට හෙළිs විය යුතුය. එබැවින් අපි ඔබට ඒ ගැන කියමු.
මහව, පාරගොල්ලෑව, නාගොල්ලාගම පාර නිලූකා නිල්මිණී 2016 ජුලි මාසයේ තුන්වැනිදා කුවේට්‌ රටේ ගෘහසේවිකාවක්‌ ලෙස සේවය කිරීම සඳහා පිටත්ව යන්නේ හැමෝටම උරුම සිහින පොදියක්‌ ඇයට ද තිබුණු නිසාය. එය තනි සිහිනයක්‌ නොව පවුලත් සමඟ බැඳුණු සිහිනයකි. ඇය විවාහකය, ස්‌වාමිපුරුෂයා නිහාල්ය. මේ දෙපළට දියණියක හා පුතෙක්‌ වූහ. ඒ අහිංසක දරුවන් හංසිකා හා සජිත් ලෙස හැඳින්විණි. නිලූකා මැදපෙරදිග සේවය සඳහා ගියේ නීත්‍යනුකූල විදේශ රැකියා ඒජන්සියක්‌ මාර්ගයෙනි. සාමාන්‍යයෙන් “රට” යන ගැහැනුන්ට මුහුණ දෙන්නට වන උපද්‍රවවලට ඇය මුහුණ දුන්නේ නැත. වරක්‌ නොව දෙවරක්‌ම ඇය විදේශගත වන්නේ ඒ නිසාය.
නිල්මිණි කුවේට්‌හි සේවය කරන අතර ඇගේ සැමියා වූ නිහාල් සවුදි අරාබියේ රැකියාවක නිරත වූවේය. මේ දෙපළගේ දරුවන් දෙදෙනා හැදුණේ වැඩුණේ නිල්මිණීගේ මව හා සහෝදරයන් යටතේය. ඔවුන් පාසල් ගියේ ද තම අත්තම්මා හා මාමලාගේ රැකවරණය, අනුදැනුම මතය. එබැවින් තම මවගේ සියලුම ක්‍රියාවන් ගැන ඒ අය දැන සිටියහ. නිහාල් හා නිල්මිණීගේ මේ රට රැකියාවන් ගැන ද මේ අයගේ එතරම් කැමැත්තක්‌ තිබුණේ නැත.
කාලය ගෙවී යද්දී පසුගිය ඔක්‌තෝබර් 4 දින නිලූකාගේ නිවැසියන්ට දුරකථන ඇමතුමක්‌ ලැබුණි. ඒ ඇගේ හිතවතියකගෙන්ය. එහි දී කියෑවුණේ නිලූකා කුවේට්‌හි ආදන් නමැති රෝහලේ දී මියගිය බවත් ඇගේ වකුගඩු රෝහල වෙත ලබා දෙන්නේ නම් නිලූකාගේ දේහය දින 2 දී නොමිලයේම ලංකාවට එවන බවත්ය. පසුව එකී දුරකථන ඇමතුම ඔස්‌සේ ක්‍රියාත්මක වූ පවුලේ උදවිය අදාළ රෝහල වෙත කතා කොට විස්‌තර දැන ගත්හ. එහි දී එම රෝහලේ වෛද්‍යවරයකු යෑයි පවසන අයකු ප්‍රකාශ කර ඇත්තේ මියගිය අයගේ වකුගඩු ලබා දෙන්නේ නම් දේහය ලංකාවට එවන බවත් ඒ සඳහා විවාහක සැමියාගේ හා දරුවන්ගේ කැමැත්ත අවශ්‍ය බවත්ය. මේ සම්බන්ධයෙන් නිලූකාගේ සැමියා වන නිහාල්ගෙන් ද කරුණු විමසූ පවුලේ උදවිය ඒ සඳහා අවසර ලබා දී ඇත. එහිදී නිහාල් ප්‍රකාශ කර ඇත්තේ වකුගඩු සඳහා ලංකා මුදලින් රුපියල් ලක්‌ෂ 15 ක්‌ ලැබුණු බවත් ඒවා දරුවන්ගේ බැංකු ගිණුම්වලට දමන බවත්ය.
ඒ අනුව මියගිය නිලූකාගේ දියණිය වන පැතුමි හංසිකාගේ බැංකු ගිණුමට රුපියල් හත් ලක්‌ෂ විසිතුන්දහස්‌ හයසීයයි ශත නවයක්‌ (723600.09) බැර කර ඇත. පුතා වන සජිත්ගේ ගිණුමට කිසිදු මුදලක්‌ බැර වී නොමැති බව අනාවරණය විණි.
මියගිය නිලූකාගේ සොහොයුරකු වන ආනන්ද කරුණාතිලක ඒ ගැන කියන්නේ මෙහෙමය, අක්‌කා මැරුණු බව පසුගිය 4 දා ආරංචි වුණා. අපි විදේශ සේවා එකට ගියත් අක්‌කා යෑව්ව අය ලියාපදිංචි නැති බව කීවා. මිනිය ගෙන්න ගන්න සැමියාගේ කැමැත්ත ඕනෑ කීවා. අපි විදේශ සේවා එකට රුපියල් 141700 ක්‌ ගෙව්වා. අක්‌කා මැරුණා කීවේ ගෑස්‌ ටැංකියක්‌ පුපුරලාලු. අපිට මිනිය ගෙන්වා ගන්න ඕනෑකම තිබුණා. පස්‌සේ අක්‌කාගේ මහත්තයා කතා කරලා කීවා අක්‌කගේ වකුගඩු දුන්නොත් නොමිලේම මිනිය එවනවා කියලා. ඒකට පවුලේ අයගේ කැමැත්ත ඕනෑ කියලා. අපි ඒ ලියුම් මේල් කරලා යෑවුවා. පස්‌සේ ගිය 23 වැනිදා මිනිය ලංකාවට එවලා තිබුණා. ඒක බලපු අපිට ලොකු සැකයක්‌ ඇති වුණා. මොකද පිච්චිලා මැරුණා කීවට අක්‌කගේ ශරීරයේ එකම පිළිස්‌සුම් ලකුණක්‌ වත් නෑ. මේ මරණය ගැන අපිට සැකයි. අක්‌කා මරලා වකුගඩු විකුණලා තියෙනවා. ඇස්‌ දෙකත් තිබුණේ නෑ. ඒ ලැබුණු සල්ලිවලින් කොටසක්‌ වෙන්න ඇති දුවගේ පොතට එවන්න ඇත්තේ. ඒ නිසා මේ පිළිබඳව මහව පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ මෙවැනි අහිංසක මිනිස්‌සු මරා අවයව ගන්න එක නවත්වා දෙන්න කියලයි. අක්‌කගේ මරණය ගැන සාධාරණයක්‌ ඉටුකරලා දෙන්න කියලත් ඉල්ලනවා”.
මියගිය නිලූකාගේ දියණිය වන පැතුමි හංසිකා ද කියා සිටියේ තම මව නිතරම දුරකථනය ඔස්‌සේ කතා කළ බවය. 4 දා මියගිය බවට එරටින් කීවත් විදේශ අමාත්‍යාංශය කියා තිබුණේ නිලූකා මියගොස්‌ ඇත්තේ 07 වැනිදා බවය.
මිනිස්‌ අවයව ජාවාරම්වල තිත්ත ඇත්ත නොඇසිය යුතු කතා එසේය.
වැළලී යන එවැනි සිද්ධීන් කොතෙකුත් තිබේ. ඇත්ත එසේය.
Loading...

No comments:

Powered by Blogger.