Lanka Net Gossip

මොකක්ද මේ සයිටම් ආරවුල

Loading...

නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබිය යුතු වීම මිසක් අධ්‍යාපනය රජය හරහා දීම කියන එක නෙවෙයි. හැමෝම මේ දෙක පටලවගෙන තියෙන්නේ. ලංකාවේ විප්ලවකාරයො නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි ජනප්‍රිය පාසැල් සංකල්පයටයි විතරක් සීමා කර තිබීම ගැටලුවක්.





ඒ අදහස් අස්සෙ සයිටම් එක ගැන මට තියෙනව පුංචි කතාවක්.
මගේ බොහොම හිතවත් මට වඩා වැඩමල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ ළඟ ඥාතියෙක් වෙනවා. ඥාති යාළුවාට සැලකිය යුතු තරම් සල්ලි තියෙනවා.  අනිත් යාළුවා ගොඩක්ම දුප්පත්. එකම ඉස්කෝලේ එකම පන්තියේ මේ දෙන්නා ඉගෙනගත්තේ. උසස්පෙළ මැත්ස් කළේ. දුප්පත් කොල්ලා අතිශය බ්‍රයිට් කේස් එකක්. ඉතින් අර දුප්පතා නිතර සල්ලි තියෙන ඥාතියාට පාඩම් කියලා දෙනවා. ඒත් ඔහුගේ කරුමෙට උසස්පෙළ දවස්වල හොඳටම උණ හැදෙනවා. මගේ ඥාතියාට එහෙම නැහැ. එයා හොඳ විභාගෙට මුහුණ දෙනවා.

ඒත් ප්‍රථිඵල එද්දී ඥාතියා මධ්‍යස්ථ විදියකට පාස් වෙලා ඉංජිනියරින් කරන්න බැහැ  හැබැයි. දුප්පතා ඉහළින් පාස් වෙලා එයා මොරටු ගියා. ඥාතියා කළේ දෙවැනි පාර ලියන්න මහන්සි නොවී සයිටම් එකේ ඉංජිනියරින් පටන්ගත්ත එක.
අවුරුදු දෙකක් සයිටම් එකේ ඉගෙනගෙන ලංකාවේ හොඳම ආයතනයක ට්‍රේනින් එකකුත් කරලා ඉන්පස්සේ තායිලන්ඩ් ගිහින් අවුරුද්දක් වැඩ කරලා මාස හයක් විතර කුබෝටා කියන ලෝකයේ හොඳම කර්මාන්තශාලාවක ට්‍රේනින් එකකත් ඉඳලා ඒ සියළු සෙටිෆිගට් එක්ක එයා ලංකාවට ආවා. ඔය ඩිග්රිය කරන අතරෙත් සමහර විභාග වලදී දුප්පතාගෙන් පාඩම් අහගන්න ඥාතියාට සිදුවුණා. ඥාතියා ලංකාවට එද්දී අර මොරටුව ගිය බ්‍රයිට් දුප්පතා හිටියේ දෙවැනි වසරේ.
සයිටම් ඥාතියා ප්‍රධාන බිස්කට් කර්මාන්ත ශාලාවක රැකියාව ලැබුණේ පුහුණුව නිසා. ඉක්මනින්ම ඒකේ උසස්වීමකුත් එයාට ලැබුණා. අවුරුදු එකහමාරකට විතර පස්සේ මොරටු දුප්පතා ට්‍රේනින් එකට යොමුවුණෙත් අර බිස්කට් කම්පැණියටමයි. ඒ විතරක් නෙවෙයි අර ඥාතියා යටතේ ට්‍රේනින් වැටුණා. එක පන්තියේ හිටපු අධ්‍යාපනයට දක්ෂ ළමයාට කෙටි මාර්ගයකින් ගිය ඊට වඩා අඩුවෙන් දක්ෂ කෙනා යටතේ ට්‍රේනින් ලබන්න සිදුවුණා. ඊටත් අවුරුද්දකට පස්සේ මොරටු ළමයා එළියට එද්දී ඥාතියා කුබෝටා කර්මාන්තශාලාවේත්, අර බිස්කට් කම්පැණියේත් වැඩ කරලා වසර ගාණක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. වැටුපෙන් ඔහු ඉහළයි.
මේවා අස්සේ ඔය කියන යාළුවෝ දෙන්නාට වඩා අවුරුද්දක් බාල තව දක්ෂ ළමයෙක් හිටියා. එයාට විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න යන්තම් අවස්ථාව අහිමි වුණා. ඒත් එයාට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දෙවැනි පාර ලීවාමත් ඒ සංගදිය වුණා. අන්තිමේ එයා එන්ඩීටී තෝරාගත්තේ ඉංජිනේරු  ඩ්‍රිග්‍රියක් ගැන හූල්ලමින්.

මේක ඇත්තටම ඇත්ත සිදුවීමක්. මේ කතාවේ උණ හැදිල වුණත් පළමුවැන්නට මොරටු යන්න පුළුවන් වුණා. මේ වගේ සිදුවීම් සන්සන්දනයන් ඕන තරම් කරන්න පුළුවන්. එතකොට පැහැදිළිවම දැන් තියෙන මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා වෙන්නේ මුදල් තිබීම කියන සාධකය මත උපාධි ලැබීමට අවස්ථාව ලබාදීමක්. තව මගේ හොඳම අතිජාත මිත්‍රයෝ ගොඩක් ඉස්කෝලේ රස්තියාදු ගහමින් ඉඳලා යන්තම් පාස් වෙලා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉන්නවා.

මේ ඉහත ලිව්ව සටහනට නිදහස් අධ්‍යාපනය සීමා කරන්න බැහැ. පැහැදිළිව රජයට අධ්‍යාපනය පවරා ගැනීම නිදහස් අධ්‍යාපනයයි කියලා අදහසක මම නැහැ. ඒකට මට අත්දැකීම් ඇසුරින් කියන්න පුළුවන්. අනික සයිටම් විරෝධී සටනේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ක වැඩ කළා වුණත් මට විරෝධයක් තියෙනවා ඔවුන් වැඩ කරන විදිය ගැන. එක්වරක් සංවිධාන කටයුතු සඳහා තිබුණු රැස්වීමකදී අන්තරේ ඒ වෙලාවේ හිටපු සනත් බණ්ඩාරගෙන් නිර්මාල් ඇහුවා ටියුෂන් ගැන අදහස මොකක්ද කියලා. ඒ වෙලාවේ පැහැදිළි උත්තරයක් සනත් බණ්ඩාරට තිබුණේ නැහැ.

සයිටම් එක කොහොමහරි වසා දැමීම කියන්නේ කිසිසේත්ම පිළියමක් නෙවෙයි. ඒත් සයිටම් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ මේ වෙලාවේ ඔය ඔක්කොටම වඩා පිස්සුවක්. ජනප්‍රියවාදී විකාරයක්. සයිටම් කියන්නේ මොකක්ද කියලා දන්නෝ දන්නවා. මාධ්‍යවේදීන්ට සයිටම් එක ඇතුලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවොත් නෙවිල් ප්‍රනාන්දුගෙන් සල්ලි දාපු ලියුම් කවර ලැබෙන බව අපි දන්නවා.

හැම එකාටම අධ්‍යාපනය ගැන පැරණි වාමාංශික හෝ නව ලිබරල් ආකල්පවල හිර නොවී අළුත් ආකල්ප ගැන හිතන්න වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය කවදාවත් සමාන අවස්ථා ලබා නොදුන් බවත් තේරුම් ගන්න වෙනවා.

අන්තිමේ මං මෙහෙම කතාවක් කියනවා. මම ගමක හැදුණේ. මං විතරක් නෙවෙයි අපේ ගමේ මිනිස්සු අසනීපයක් වුණාම රජයේ ආයුර්වේද එකට හරි රජයේ ඉස්පිරිතාලෙට හරි ගියා. විෂයන් දෙකකට විතර අඩු වියදම් ටියුෂන් ගියත් අපේ අධ්‍යාපනය ලැබුණේ රජයේ ඉස්කෝල වලින්. ඇත්තටම මම උසස්පෙළටයි, සාමාන්‍යපෙළටයි ටියුෂන් ගිහිල්ලා නැහැ. එක් විෂයකටවත්. පටන්ගත්ත ටියුෂන් මාසෙන් දෙකෙන් නවත්වලා තියෙනවා. ප්‍රයිවෙට් ආට් වුණත් හොඳ ඒවා කියවන්න පටන්ගත්තේ ඉස්කෝලේදී මම ආශ්‍රය කරපු හොඳ ගුරුවරුන් කිහිපදෙනෙක්ගේ උපදෙස් මත. මම වැඩකරන රාවය පත්තරේ මුලින් මගෙ අතට ලැබුණෙත් රජයේ ඉස්කෝලෙදී ගුරුවරයෙක් හරහා. ඒ වගේම මම කෑවේ බීවේ රජයේ ඉස්කෝලෙක ගුරුවරියක් වන අම්මාගේ පඩියෙන්. අම්මා හවස නොමිලේ ළමයින්ට ඉගැන්වුවේ රජයේ අධ්‍යාපනය හැර  දුප්පත්ම දුප්පත් උන්ට පාරක් තිබුණෙ නැති හින්දා. අපේ එවුන් ඉස්කෝලේ යන්නේ රජයේ ලංගම බස් එකේ සීසන් එකෙන්.

අනිත් පැත්තෙන් ඒ රජයේ දේවල් හරියට ලැබෙන්නෙ නැති හින්දා අපේ එවුංට උඩට එන්න අමාරු වෙලා තියෙනවා. උන්ට සීටීබී බස් නිතර කැඩෙන එකයි, උන්ට යන්න වෙලා තියෙන රජයේ ඉස්කෝලේ හරියට පහසුකම් නැති එකයි, රජයේ ඉස්පිරිතාලේ බෙහෙත් නැති එකයි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා.

මේ ප්‍රශ්ණ ගැන අළුතින් හිතන්න ඕන. රජය හරහා නෙවෙයි වෙන ක්‍රමයක් හරහා හෝ හැම දෙනාටම සමාන අවස්ථා ලැබෙන විදියේ අධ්‍යාපනයක්, ප්‍රවාහනයක්, සෞඛ්‍යයක් හැදුවොත් ලංකාව මීට වඩා හොඳ තත්වෙකට ඒවි.

Loading...

No comments:

Powered by Blogger.