Lanka Net Gossip

මෙතෙක් හෙළි නොකළ දේශපාලනික රහස් හෙළි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Loading...




ඒකාබද්ධ විපක්ෂය විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකළහොත් මෙතෙක් හෙළි නොකළ දේශපාලනික රහස් හෙළි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(19) මාතරදී පැවති ජාතික ආණ්ඩුවේ පළමු සැමරුම් උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය. 

එමෙන්ම නව පක්ෂයක් සථාපිත කළහොත් එහි සාමාජිකයින්ට දැඩි පළ විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්,ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් සාමාජිකයින්ගේ රහස්‍ය කරුණු අනාවරණය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

සම්මුතිවාදී ආණ්ඩුව පිළිබඳව බොහෝ අයට අත්දැකීම් නොමැති බවක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එයට හේතුව වී ඇත්තේ මෙම අලුත් සංස්කෘතිය හා අලුත් අත්දැකීම නිසාවෙන් බවත්, ඒ නිසා බොහෝ අය වත්මන් ආණ්ඩුවට වැරදි විවේචන හා  වැරදි විග්‍රහයන් දෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම පසුගිය ආණුඩුව තුළ සුන්දර සංවර්ධනයක් පිළිබඳව කතා කළ බවත්, අද වන විට කෝටි 9 ලක්ෂයක ණය බරක් සමස්ත ජනයාගේ හිස මත පැටවී තිබෙන්නේ ඒ සුන්දර සංවර්ධනය නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව තමන් හා රනිල් වික්‍රමසිංහ මහතා එක්ව මෙම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නා බවට ජනතාවට පොරොන්දුවන බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ලබා ගත් ජයග්‍රහණ බඩට මෙන්ම සාක්කුවට තදින් දැනෙන්නේ නැති බව සත්‍ය බවත්, එය ඇස්වලට නොපෙනන බව සත්‍ය බවත්, නමුත් දැනුමක් හා බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට එම ජයග්‍රහණ තේරෙන බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

කයිවාරු ගහන මිනිසුන්ට වැඩිය මේ රටට තමන් ආදරය කරන බවත්, උතුර-දකුණ, නැගෙනහිර-බටහිර නොවෙයි ලොව විදේශීය බලවේගවලටවත් මෙම ආණ්ඩුව යටත් නොවන බවත්, කළමනාකරණය කළ නොහැකි බවත්, ආණ්ඩුවක් ලෙස ස්වාධීනව ජාත්‍යන්තරයට අභීතව මුහුණ දෙන බවද ඒ මහතා පවසයි.

එමෙන්ම විදේශී බලවේගයන්ට යටත් නොවී, ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා ආපු යෝජනා සියල්ලටම රටේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාවට හානියක් නොවී ඒ යෝජනාවලින් උතුම් මාතෘ භූමිය ඒකාන්ත වශයෙන් නිදහස් කර ගන්නා බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“මෙම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි අවුරුදු 5ක කාලය තුළ ශක්තිමත්ව, ජාතියට හිතෛෂීව මුළු මහත් ජාතියේ යහපත සඳහා ඉදිරි අවුරුදු 5 තුළ ඉදිරියට රැගෙන යනවා වගේම 20/20 අපි තීන්දු කරනවා එතනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියලා.

 ඒ වගේම මම බොහොම පැහැදිලිවම කියන්න ඕනේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට ඔටුනු පළඳපු මිනිස්සුන්ට මේ රටේ නැවත ආණ්ඩුවක් කරන්න අපි කිසි දවසක ඉඩ තියන්නේ නැහැයි කියන එක.

අපිව පෙරළන්න අලුත් පක්ෂ හදනවලු, හදලා බලමු. මම ඒගොල්ලන්ට කියනවා, ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරණය වෙලාවේ ඒ ගොල්ලන් කරපු වංචා, දූෂණ, හොරකම් ඉතාම අශිලාචාර තත්ත්වය අපි එදා හෙළිකලා වගේම, ඒගොල්ලො අලුත් පක්ෂයක් හැදුවොත්, හදපු දවසට මෙතෙක් කල් නොකියපු දේවල්, මෙතෙක් කල් රහස් විදිහට තියාගෙන හිටපු දේවල්, මේ සියල්ල එළියට දාලා ඒගොල්ලන්ට සදාකාලිකවම ආණ්ඩු කරන්න නෙමෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්න අපි අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මම බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ”. යනුවෙන්ද ඒ මහතා පැවසීය.

යහපාලන ආණ්ඩුව තුළ සිට දූෂිත කි‍්‍රයා සිදුකළහොත් ඔවුන්ට අන් අයට වඩා දැඩි දඬුවම් ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Loading...

No comments:

Powered by Blogger.