Lanka Net Gossip

මායා ඩොනල්ඩ් ජයන්තගේ දෙවැනි සිනමා අධ්‍යක්‍ෂණය. ප්‍රවේගය නිර්මාණ කළ ඩොනල්ඩ් මායා ගැන කියන්නේ වෙනස්‌ම කතාවක්‌.

Loading...



අධ්‍යක්‍ෂ ඩොනල්ට රන්ජන් කියයි
මායා, කාංචනා කාබන් කොපිය නෙමෙයි
හේමාල්ට ගැලපෙන චරිතයක්‌ නෑ...
ප්‍රවේගය හැදූ ඩොනල්ඩ් මායා ගැන කියන කතාව

මායා ඩොනල්ඩ් ජයන්තගේ දෙවැනි සිනමා අධ්‍යක්‍ෂණය. ප්‍රවේගය නිර්මාණ කළ ඩොනල්ඩ් මායා ගැන කියන්නේ වෙනස්‌ම කතාවක්‌.

මායා ගැන මුලින්ම කතා කළොත් ?

මායා මම අධ්‍යක්‍ෂණය කළ දෙවැනි චිත්‍රපටය. මේක වෙනස්‌ම චිත්‍රපටයක්‌. අපි ලංකාවේ පළමු වතාවට 3D චිත්‍රපටයක්‌ නිර්මාණය කළා. මෙහි රන්ජන් රාමනායක වෙනස්‌ම ආකාරයේ චරිතයක්‌ නිරූපණය කරනවා. මායා වෙනුවෙන් රන්ජන් රාමනායක පුදුම කැපකිරීමක්‌ කළා. මම ඔහු සමග චිත්‍රපට විස්‌සක විතර සහාය අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට කටයුතු කරලා තියෙනවා. නමුත් ඔහු මේ චිත්‍රපටයට පුදුම විදිහේ කැපකිරීමක්‌ කරනවා.

රන්ජන්ව කාන්තා චරිතයක්‌ විදිහට යොදාගත්තේ ඇයි ?

මේක චිත්‍රපටයේ නිෂ්පාදක ආර්. සදේශ් කුමාර්ගේ අදහසක්‌. මායා දමිළ චිත්‍රපටයකින් උපුටාගත් කතාවක්‌. ඔහුට ඕනෑ වුණා, ඒ චිත්‍රපටයම ලංකාවට ඔබින විදිහට පිටපත හදලා නිර්මාණය කරන්න. ඉතිං ඒ චරිතයට හරියනම කෙනා තමයි, රන්ජන් රාමනායක. ඔහුට පිටපත දීලා කිව්වා මේ වගේ චරිතයක්‌ කරන්න තියෙන්නේ කියලා.

එතකොට රන්ජන් කැමැති වුණාද?

අනේ මචං මට මේ වගේ දෙයක්‌ නම් කරන්න බැහැ කියලා තමයි මුලින්ම කිව්වේ. පසුව පිටපත කියවලා තමයි ඔහු මේ වැඩේට කැමැති වුණේ. අන්තිමේ ඔහු අපෙන් එක ඉල්ලීමක්‌ කළා.

ඒ මොකක්‌ද?

ඉන්දියාවෙන් වේෂ නිරූපණ ශිල්පියෙක්‌ ගෙන එන්න කියලා. පසුව මම කිව්වා නෑ රන්ජන් ලංකාවෙන් එක්‌කෙනෙක්‌ ගමු. නලීන් ප්‍රේමතිලක ලංකාවේ කෙනෙක්‌ ඉන්නවා ඔහුව ගමු කියලා කිව්වා. ඒකටත් ඔහු කැමැති වුණේ නැහැ. අන්තිමේ අපි නලීන් ලවා ඔහුව වේෂ නිරූපණය කළා. එතකොට තමයි ඔහු මේ වැඩේට හරියටම කැමැති වුණේ. ප්‍රේක්‍ෂකයන්ට මායා අලුත් අත්දැකීමක්‌ වේවි.

මායා දමිළ චිත්‍රපටයක්‌ වන කාංචනා හි කොපියක්‌ද?

ඔව්. කාංචනා හි අනුවර්තනයක්‌ තමයි. හැබැයි ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට හරියන විදිහට තමයි අපි මායා හැදුවේ. මායා බලපු ගොඩක්‌ දෙනෙක්‌ කිව්වා කාංචනාට වැඩිය හොඳට මායා කරලා තියෙනවා කියලා. මෙහි අනෙක්‌ චරිතය තමයි පුබුදු චරිතය. ඔහුත් රන්ජන් එක්‌ක කරට කර රඟපානවා.

2011 තමයි කාංචනා ඉන්දියාවේ තිරගත වෙන්නේ. හැබැයි ලංකාවට නව තාක්‍ෂණය යොදාගෙන මායා එන්න අවුරුදු පහක්‌ විතර ගතවෙනවා ?

ඇත්තටම එහෙම වුණේ චිත්‍රපටය කරගෙන යනකොට ගොඩක්‌ ප්‍රශ්න ආවා. ප්‍රධානම කාරණාව මූල්‍ය ප්‍රශ්නය. මේ චිත්‍රපටයට අධික වියදමක්‌ ගියා. දැන් තමයි මායා තිරගත කරන්න හොඳම කාලය.

ඇයි ඔබ දමිළ කොපි විතරක්‌ අධ්‍යක්‍ෂණය කරන්නේ ?

එදා සිංහල සිනමාවේ හැත්තෑව දශකයේ ලෙනින් මොරායස්‌, සයපාලිත නානායක්‌කාර, ඡේ. සෙල්වරත්නම් වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරු කරපු හොඳ වාණිජ චිත්‍රපට සියල්ලම වාගේ දමිළ චිත්‍රපට අනුගමනය කරමින් තමයි කරලා තියෙන්නේ. නාට්‍ය කලාවත් එහෙමනේ. කොපිනේ. කොපියක්‌ කළා කියලා මම හිතන්නේ නැහැ ප්‍රේක්‍ෂකයෝ රිජෙක්‌ට්‌ කරයි කියලා. එදා කළෙත් කොපි තමයි. හැබැයි කොපි කියන්නේ කාබන් කොපි නෙමෙයි. ලෝකයේ තියෙන්නේ කතා හතයි. ඒකනෙ අපි හැමඅතටම පෙරළ පෙරළ ගොතන්නේ. මම ඒක වැරැද්දක්‌ දකින්නේ නෑ. හැත්තෑව දශකයේ හොඳ වාණිජ චිත්‍රපට සියල්ලම කොපි. මොකද ප්‍රවේගය කොපියක්‌ කියලා මිනිස්‌සු බලන්නේ නැතිව හිටියේ නැහැනේ.

ප්‍රවේගයට වඩා මායා සාර්ථක වෙයි කියලා හිතනවාද?

ප්‍රවේගයටත් වැඩිය මායා සාර්ථක වේවි. ලංකාවට අලුත් කතා තේමාවක්‌. රංජන් වෙනස්‌ම රංගනයක යෙදෙනෙවා. ලංකාවේ වෙනස්‌ම ආකාරයේ චිත්‍රපටයක්‌.

ලංකාවේ හැම තැනම 3D සිනමාශාලා නැහැ. එහෙම තියෙද්දි ඇයි මේ 3D කොපි පනහක්‌ ලංකාව පුරා ප්‍රදර්ශනය කරන්නේ ?

ලංකාවේ දැන් බොහෝ ප්‍රදේශවල 3D සිනමාශාලා තියෙනවා. ඒවායේ අපි මේ චිත්‍රපටය 3D පෙන්වනවා. අනෙක්‌ සිනමාශාලාවල වෙනම පෙන්වනවා. මොනවා වුණත් 3D කරපු ලංකාවේ පළමු චිත්‍රපටය තමයි මායා.

මායා කාංචනා කොපියමද?

නැහැ. ගොඩක්‌ම වෙනස්‌. කාංචනා චිත්‍රපටයේ කතා තේමාව අරගෙන අපිට ඕනෑවිදිහට තමයි මෙය සකස්‌ කරලා තියෙන්නේ. හැබැයි මායා කාංචනා කාබන් කොපියම නෙමෙයි.

මායා තිරරචනය කළේ පුබුදු චතුරංග ?

නිෂ්පාදකවරයා පිටපත ගැන කතාබහ කරනකොටම කිව්වේ මේ චරිතයට හරියනම කෙනා තමයි රන්රන් සහ පුබුදු කියලා. මායා ලංකාවේ චිත්‍රපටවල වේෂ නිරූපණයෙන් වෙනස්‌ම අත්දැකීමක්‌ ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙනවා.

ප්‍රවේගයේ හිටපු හේමාල් මායා චිත්‍රපටයෙන් හැලුණේ ඇයි ?

හේමාල් මගේ හොඳ මිත්‍රයෙක්‌. මේ චිත්‍රපටයේ ඔහුට හරියන චරිතයක්‌ තිබුණේ නැහැ. යාළුකමට චරිත ලබාදීලා නැහැ. හේමාල් දක්‍ෂ රංගන ශිල්පියෙක්‌. ඔහුට ගැලපෙන චරිතයත් තිබුණේ නැති හින්දා තමයි මායාවලට ඔහුව ගත්තේ නැත්තේ.

රන්ජන් ජනප්‍රිය හින්දා මායා සඳහා තෝරාගත්තා ?

රන්ජන් ලංකාවේ ඉන්න ජනප්‍රිය නළුවෙක්‌. ජනතා සම්මානය එකදිගටම අවුරුදු දහයක්‌ ලබාගත්තු නළුවෙක්‌. මගේ හොඳ හිතවතෙක්‌. ඔහු මෙහි හරි අපූරුවට රංගනයේ යෙදෙනවා. මායා අක්‌කාට සුදුසුම කෙනා තමයි රන්ජන්.

මායා දෙවැනි කොටසකුත් තියෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මායා දෙවැනි කොටස අපි ලබන අවුරුද්දේ රූගත කරනවා. දැනටමත් සදේශ් කුමාර් කියන මගේ නිෂ්පාදකවරයා ඒ සඳහා කැමැත්ත පළකරලා තියෙනවා.

රන්ජන්ගේ හොඳම රංගනය තියෙන්නේ මායා 2 චිත්‍රපටයෙ ?

මායා 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බොහෝ දුරට රන්ජන් රාමනායක රඟපාන්න පුළුවන්.

මායා පූර්ව ප්‍රචාරක වල වැඩිහරියක්‌ ඉන්නේ රන්ජන් රාමනායක. හැබැයි චිත්‍රපටයේ අවසන් දර්ශන කිහිපයේ තමයි රන්ජන් රාමනායක ඉන්නේ ?

කතා තේමාව ගත්තහම මාලන් කියන තරුණයෙකුට තමයි මායා අක්‌කා, රාජු, රාජුගේ පුතා කියන චරිත වැහෙන්නේ. කතා තේමාවේ මගදී තමයි මායා අක්‌කාව ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නේ. මෙහි කතා තේමාවට අනුව තමයි රන්ජන් රාමනායක යොදාගෙන තියෙන්නේ. මායාගේ චරිතය තමයි ප්‍රේක්‍ෂකයෝ හදබැඳගන්නේ.

වර්තමාන සිනමාව ගැන ඔබේ මතය ?

ආර්. සදේශ් කුමාර, ශ්‍රීමතී සදේශ් කුමාර විශාල මුදලක්‌ වියදම් කරලා තමයි මායා චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඔහු ක්‍ෂේත්‍රයට තියෙන කැමැත්ත හින්දයි එහෙම කළේ. සදේශ් නිෂ්පාදනය කළ චිත්‍රපට දෙකක්‌ තිරගතවෙන්න තියෙනවා. මේ වගේ නිෂ්පාදකවරු හිටියොත් තමයි සිංහල සිනමාව

රැඳෙන්නේ. මේ වගේ නිෂ්පාදකවරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕනෑ. සිංහල සිනමාව කවදාවත් නැතිවෙන්නේ නැහැ. සිනමාවට අනාගතයේ දී සුබ ලකුණු පහළවෙමිත් තිබෙනවා කියලයි මට හිතෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.