Lanka Net Gossip

පොලීසියට පැමිණි භූතාත්මය මිනීමරුවා ගැන හෙළි කරයි

Loading...

පොලීසියට පැමිණි භූතාත්මය මිනීමරුවා ගැන හෙළි කරයි

චන්ද්‍රප්පා නායර් සහ සුබ්යියා හිතමිතුරෝය. සමීප ඇසුරක් පැවැත්වූ බැවින් මේ දෙදෙනාගේ බිරින්ඳෑවරුද දෙමිතුරන් හා හිතවත්ව සිටියහ. ඔවුහු විවිධ ඕනෑ එපාකම්වලදී එකිනෙකාගේ නිවෙස්වලට පවා ආවෝ ගියෝය.
මෙම දැන හැඳුනුම්කම්වල ප්‍රතිඵලයක් වූයේ චන්ද්‍රප්පා නායර්, සුබ්බයියාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීමය. කලක් තිස්සේ පැවැති මේ සම්බන්ධය සුබ්බයියාගේ කන වැකීමත් සමග ඔහු චන්ද්‍රප්පා සමග ආරවුලක් ඇතිකර ගෙන අමනාපයට පත් විය. ඉන්පසු මේ අනියම් සම්බන්ධය ඔවුන් නතර කළේද නැද්ද යන්න ගැන දැක ගන්නට නැත. කෙසේ වුවද තමන් සමග එකට කා බි සිටි මිතුරා තමන්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධකමක් ඇතිකර ගැනීම පිළිබඳව සුබ්බයියා සිටියේ දැඩි කෝපයකිනි. එය කෙතරම් දැඩිවීද යත් චන්ද්‍රප්පා විනාශ කිරීම සඳහා සුබ්බයියා දැඩි තීරණයකට එළැඹුණේය.
සතුරා විනාශ කිරීම වඩා පහසු වන්නේ ඔහුට මිතුරු වෙසින් ළංවීමෙනි. මේ න්‍යායට අනුව සුබ්බයියා චන්ද්‍රප්පා සමග යළි මිතුරු විය. ඉන්පසු තමන්ගේ නිවසේ මත්පැන් සාදයකට ඇරැයුම් කළේ චන්ද්‍රප්පා පිළිබඳව අවසන් තීන්දුවකට එමිනි. සුබ්බයියා කෙරෙහි අබමල් රේණුක තරම්වත් සැකයක් ඇතිකර නොගත් චන්ද්‍රප්පා ඔහුගේ නිවසට පැමිණ සතුටු සාමිචියේ යෙදෙමින් හොඳ හැටි මත්පැන් පානය කළේ නැතිවී ගිය මිතුදම යළි අලුත් වීමේ පී්‍රතිය බෙදාහදා ගනිමිනි. නමුත් සුබ්බයියා සිටියේ තමන්ගේ වාරය එනතුරුය.
මැදියම් රැය වන විටත් චන්ද්‍රප්පා හොඳහැටි මත්පැනින් පදම්ව සිටියේය. ඉන්පසු කාටත් නොදැනෙන සේ සුබ්බයියා ඔහුට පිහි පහරවල් කීපයක් එල්ල කළේ 'හ්ම්' කියන්නටවත් තරම් වත් ඉඩක් නොතබමිනි. ඉන්පසු එම රාත්‍රියේම ඔවුන් සිටි ප්‍රදේශයේම පිහිටි ජස්මින් නමින් හැඳින්වූ කර්මාන්ත ශාලාවක් අසලට චන්ද්‍රප්පාගෙ සිරුර ගෙන යනු ලැබිණි. එහි විසල් වතුර ටැංකිය පාමුල වූ ගැඹුරු කාණුවක් මතට චන්ද්‍රප්පාගේ මිනිය සුබ්බයියා විසින් අතහරිනු ලැබිය.
එම කාණුවේ වූ පිහිටීම අනුව පිටත සිටින කිසිවකුටවත් එතුළ ඇති දෙයක් නොපෙනේ. ඒ අනුව මෙම රහස සදා සුරැකේවි යන්න සුබ්බයියාගේ විශ්වාසය වන්නට ඇත.
ඔහු සිතූ අයුරින්ම මාස කිහිපයක් ගතව ගියේය. රහස තවමත් රහසක්ව පැවතුණි. චන්ද්‍රප්පාගේ බිරිඳ ඇතුළු සියලු දෙනාම සිතුවේ චන්ද්‍රප්පා අතුරුදන්වී ඇති බවයි. එහෙත් කිසිවකුවත් සුබ්බයියා පිළිබඳව සැක කළේ නැත.
දිනය 1970 මාර්තු මස 27දාය. මුම්බායේ ධාරාවි ‍පොලිස් ස්ථානයට පැමිණි එක්තරා පුද්ගලයකු එහි සිටි උප ‍පොලිස් පරීක්ෂක අරුන් කොට් මහතා හමුවී අපූරු පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. හෙතෙම පැමිණ තිබුණේ එදින සන්ධ්‍යා භාගයේය.
තමා චන්ද්‍රප්පා නායර් නම් අයකු ලෙසින් ඔහු මුලින්ම තමාව හඳුන්වාදී තිබිණි. නමුත් ඒ ඔහු පෙර සමයේ හැඳින්වූ නමය. තම මිතුරු සුබ්බයියා විසින් තමා ඝාතනය කරන ලද බවත්, ඉන්පසු භූතාත්මයක් ලබා මෙසේ පැමිණි බවත් ඔහු පැවැසුවේ ‍පොලිස් නිලධාරියා අන්දමන්ද කරවමිනි. තමා මාස හයක පමණ කාලයක් අවකාශයේ සැරි සැරූ බවත් තම භූතාත්මය ‍පොලීසියට මේ මොහොතෙහි පැමිණියේ තමා පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බව වැඩිදුරටත් කියා සිටියේය.
මුලදී ‍පොලිස් නිලධාරියා මේ තැනැත්තා පිළිබඳව සැකයක් ඇතිකර ගන්නට ඇත. නමුත් තමාගේ මළසිරුර සඟවා ඇති තැන පෙන්වන්නට කතා කරන විට ‍පොලිස් නිලධාරියාට එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර සිටින්නට නොහැකි විය. මිනිස් වෙසින් පැමිණි භූතයා සමග උප ‍පොලිස් පරීක්ෂක අරුන් කොට් ජස්මින් කර්මාන්ත ශාලාවේ වතුර ටැංකිය අසලට ගියේය. එහි යට කිසිවකුගේවත් අවධානයට ලක් නොවන, බලවත් ආයාසයකින් බැලුවොත් මිස පහසුවෙන් නොපෙනෙන ස්ථානයක දියවී ගිය මළසිරුරක කොටස් දක්නට ලැබිණි. එහි ඉතිරිවී තිබුණේ ඇටසැකිල්ල පමණි. එහෙත් දකුණු පාදයෙහි සැකිල්ල දක්නට නොවීය. එය වතුරට ගසාගෙන ගොස් තිබිම ඊට හේතුවයි. මේ තම මළසිරුර බව කී භූතයා සුබ්බයියා සම්බන්ධ සියලු විස්තර ‍පොලිස් නිලධාරියා හමුවේ තබන්නට අමතක කළේ නැත. මඳ වේලාවකට පසු ‍පොලිස් නිලධාරියා වික්ෂිප්ත බවට පත් කරවමින් භූතයා අතුරුදන්ව තිබිණි.
කෙසේ වුවද මෙම මළසිරුර ගොඩට ගෙන එම කොටස් ජීව විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා මහාරාෂ්ට්‍රයේ රසායනාගාරයකට යවනු ලැබිණි. එහිදී එම පුද්ගලයා ජීවත්ව සිටියදී වම් පාදයේ කලකට පෙර සිදුවූ අනතුරක් නිසා අස්ථි බිඳී සුවවූ ලකුණක් සහ හක්කේ දත් දෙකක අඩුවක්ද විශේෂයෙන් සොයාගත හැකිවිය. එය එසේවී පැවැති බව චන්ද්‍රප්පා නායර්ගේ බිරිඳ ද පිළිගත්තාය.    රසායනාගාර නිලධාරීන් විසින් හිස්කබල පුරවා මුහුණ සහ හිස සම්පූර්ණ කර දැක්වූ පසු තම සැමියාගේ මුහුණ එබඳුම බව බිරිඳ සාක්ෂි දී තිබිණි.
රසායනාගාර වාර්තාවන්ට අනුව එම මිනි ඇටසැකිල්ල චන්ද්‍රප්පා නායර්ගේ බව සනාථ විය. ඉන්පසු සුබ්බයියාව අත්අඩංගුවට ගනු ලැබිය. තම බිරිඳ හා චන්ද්‍රප්පා අයථා සම්බන්ධයක් පැවැත්වීම නිසා ඔහු කෙරෙහි ඇතිවූ දැඩි කෝපය මත ඔහු මරා දැමූ බව එහිදී සුබ්බයියා පා‍පොච්චාරණය කර තිබිණි.
ඔහු විසින් කරන ලද අපරාධය හේතුවෙන් සුබ්බයියාට සිර දඬුවම් නියම විය. ඔහු රඳවා තිබුණේ මුම්බායේ ආතර් පාරේ දරුණු අපරාධකරුවන් රඳවා තබනු ලබන සිරමැදිරියකය.
දිනය 1970 වසරේ ජුලි මස පස්වෙනිදාය.
එදින රාත්‍රි දහයයි තිහට පමණ සුබ්බයියා බිම පෙරළි ඒ මේ අත දඟලමින් කෑගසන්නට විය. ඔහු දෑතින් හිස ආවරණය කරන්නට උත්සාහ දරමින් ඒ පැත්තට මේ පැත්තට හැරෙමින් දඟලන විලාසය අනුව කිසියම් අයකු විසින් දැඩිව ඔහුට ‍පොල්ලකින් පහර දෙන බවට අනුමාන කළ හැකි විය. සුබ්බයියාගේ හිස පුරා රතු පැහැවී තිබුණේ හිසෙන් රුධිරය ගලමින් පැවැති නිසාය. ඉවසිය නොහැකි තැන සුබ්බයියා ආධාර ඉල්ලා කෑගැසුවේය. නමුත් කිසිවකු ඔහුට ළංවන්නටවත් උත්සාහ කළේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව පහර දෙනුලබන කිසිවකුවත් දෘශ්‍යමාන නොවූ නිසා සෙස්සන් තුළ ඇතිවූ භීතිය හේතුවෙනි. අවසානයේ සුබ්බයියා සදහටම නිහඬ විය.
පසුව කරන ලද පශ්චාත් මරණ   පරීක්ෂණය මගින් අනාවරණය වූයේ යකඩ ‍පොල්ලක් වැනි මොට ආයුධයකින් හිසට බරපතළ ලෙස පහරදීම නිසා සුබ්බයියා මරණයට පත්ව ඇති බවය. නමුත් එසේ පහරදුන් ආයුධයක් හෝ පුද්ගලයකු නොවීය. මෙම මරණය සිදුකරන්නට ඇත්තේ අදෘශ්‍යමාන බලවේගයක් විසින් බව මේ අනුව පැහැදිලි වුණි. එය සිදුකරන ලද්දේ චන්ද්‍රප්පා නායර්ගේ භූතාත්මය බවට සාධාරණ සැකයක් ඇතිවූයේ මුල පටන් සියලුම කරුණු ගළපා බැලූ විට ඒ හැර වෙනත් පිළිතුරක් මීට නොතිබූ නිසාය.

තොරතුරු සපයා ගැනීමට උපකාරී වූ හිටපු ‍පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතාට අපගේ ස්තූතිය.

ඉන්දු පෙරේරා
Loading...

No comments:

Powered by Blogger.