ලසන්ත මැරුවයි කියල එල්ලිලා මැරුණු සාජන් මේජර්ගෙ රහස් වැලක් එළියට
Loading...
ලසන්ත වික්‍රමතුංග නම් ප්‍රවීණ මාධ්‍යවේදියා සිය ජීවිතයෙන් සමුගත්තේ දෙදහස් නවය වර්ෂයේ ජනවාරි අට වැනිදාය. අලුත් වර්ෂයක් උදා වී පළමු දින දහය ඉක්ම යන්නටත් කලින් ලසන්ත සිය ජීවන ගමන නිමා කොට තිබිණි.
දෛවයේ සරදමකට මෙන් ලසන්ත වික්‍රමතුංග නම් මාධ්‍යවේදියාගේ දෑස් බලෙන් පියවා දැමූ දින සිට වසර හයක් ඉක්ම ගියදා විශාල පෙරළියක් සිදු විය.
ආණ්ඩු පෙරළියක් සිදු වී මෛත්‍රි පාලනයකට මුල පිරූ ජනවාරි අට වැනිදා සිට අවුරුද්දකුත් මාස අටක් සහ දින විසි එකක් ගතවූ තැන මහ දවාලේ මහමඟදී වෙඩි තැබූ ලසන්ත වික්‍රමතුංගගේ නිසල සිරුර යළි ගොඩට පැමිණියේ අධිකරණ නියෝගයකිනි.
මහ දවාලේ කොළඹ අධි ආරක්ෂිත කලාපයකදී නාඳුනන සාහසිකයකු පැමිණ සිය රථයෙන් ගමන් ගනිමින් සිටි සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගට මරණීය ප්‍රහාර එල්ල කොට පලා ගියේ හමුදා කපොලු කිහිපයක්ද පසු කරමිනි. කළුබෝවිල රෝහලේ සයනයක් මතදී ප්‍රවීණ මාධ්‍යවේදියකු අකාලයේ සිය ජීවිතයෙන් සමු ගත් පසු ඒ හා බැඳුණු වෛද්‍ය වාර්තා සියල්ලක්ම පරස්පර විරෝධී ඒවා විය. කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රස පරීක්ෂකවරයා ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් ලබා දුන් පරස්පර විරෝධී වෛද්‍ය වාර්තා ලසන්ත වික්‍රමතුංග මිය ගොස් අවුරුදු හතයි මාස අටකුත් දින කිහිපයක් ගත වූ තැන බොරැල්ල කනත්තේ පස් අතර සඟවාලූ සිරුර නැවත ගොඩගැනීමට මඟ පාදාලමිනි.
ලසන්ත වික්‍රමතුංගගේ මරණ පරීක්ෂණය සිදු කළ එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් කුමාර සිය වාර්තාවේ සටහන් තබා තිබී ඇත්තේ වෙඩි වැදීමකින් සිදු වූ තුවාල ශරීරයේ පැවැති බවද සඳහන් කරලමිනි. එහෙත් ලසන්ත වික්‍රමතුංග මිය යෑමට පෙර කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පසු ඔහුට ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා සිය වාර්තාවේ ලියා ඇත්තේ වෙඩි වැදීමකින් කිසිදු තුවාලයක් සිදුව නැති බවයි.
මහාචාර්යවරයාගේ කරුණ සනාථ කරමින් රස පරීක්ෂකවරයා සකස් කළ රස පරීක්ෂණ වාර්තාවේ කිසිම වෙඩි පහරක් හෝ වෙඩි බෙහෙත් ගඳක් නොපැමිණි බව සටහන් වී තිබිණි.
මාධ්‍යවේදියකුට උරුම සහජ ඉවක් තිබූ නිසාමදෝ තමන් ලුහුබැඳ ආ නන්නාඳුනන බයිසිකල්කරුවන්ගේ යතුරුපැදිවල අංක සිය පෞද්ගලික සටහන් පොතේ ලසන්ත සටහන් තබා ගන්නට ඇත්තේ මරණය පිළිබඳ සේයාවක් දැනී වන්නට ඇත. එහෙත් ලසන්ත මිය ගියායින් පසු තම මිනීමරුවන් හඳුනාගන්නට තම අත් අකුරින්ම සටහන් යෙදූ සටහන් පොතද අතුරුදන්ව තිබිණි. ඒ පරීක්ෂණ සඳහා ඉහළ නිලධාරීන්ගේ අතට මේ පොත පත්වීමත් සමඟය.
ලසන්ත ඝාතනයෙන් පසු ඔහු සතු වූ ජංගම දුරකතනයද අතුරුදන්ව පැවැති අතර ඝාතනයට සැකපිට 2011 වර්ෂයේදී අත්අඩංගුවට ගැනුණු ජේසුදාසන් නම් පුද්ගලයා පොලිස් අත්අඩංගුවේදීම මිය ගොස් තිබිණි. අනෙක් සැකකරු කාමරයක් තුළදී මහෙස්ත්‍රාත්වරයාට ලබාදුන් විශේෂ ප්‍රකාශය රහසක්ම විය. පරස්පර විරෝධී වෛද්‍ය වාර්තා එකිනෙකට පැටලුම් ලිහා ගත නොහැකිව තිබූ සිදුවීම් දාමය ලසන්ත වික්‍රමතුංග නම් මාධ්‍යවේදියා ඝාතනය කළ ආකාරය තවදුරටත් සොයාගත නොහැකි සංකීර්ණ ගැටලුවක් බවට පත් කරන්නට විය.
කෙසේ වෙතත් ආණ්ඩු පෙරළියක් සිදු වී වසර දෙකක් ඉක්ම යන්නටත් පෙර ලසන්තගේ දේහය යළි ගොඩගැනුණේ මාධ්‍යවේදීන්ට එම ස්ථානය තහනම් කලාපයක් බවට පත් කරලමිනි. ලසන්තගේ නිසල සිරුර සිය ඝාතනයේ අබිරහස හෙළි කරන්න ඇති ප්‍රබලම සාක්ෂියකි. වෙඩි තබා ඝාතනය කළැයි වෛද්‍ය වාර්තාවක කියූ කරුණු සත්‍යදැයි නීතිය ඉදිරියේ තර්ක මතු විය. ලසන්ත ඝාතනය කෙරුණේ ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් නම් ඒ අවට හිස් පතරොම් වැටී තිබිය යුතුය. එහෙත් රස පරීක්ෂක වාර්තාවේ එවැනි දෙයක් පිළිබඳව සඳහනක් ඇත්තේ නැත. රහස් පොලිසිය සැක පහළ කරනුයේ පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමේ අරමුණින් කවරකුගේ හෝ උපදෙස් පිට එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා, අධිකරණ වෛද්‍ය වාර්තාව විකෘති කරන්නට ඇති බවයි. වර්තමානය වනවිට එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයාව සිටි වෛද්‍යවරයා ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකි. එහි උපකුලපතිවරයා ලෙස සේවය කරනුයේ අබිරහස් මරණ ගොන්නට එක්වූ වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් යැයි සනාථ කොට වෛද්‍ය වාර්තාව සැකසූ සහ තාජුඩීන්ගේ සිරුරෙහි අස්ථි කොටස් අතුරුදන් වීම සම්බන්ධයෙන් නම් කියැවෙන වෛද්‍යවරයාය.
ලසන්තගේ දේහය ගොඩගෙන දින දාහතක් ඉක්ම ගිය පසු ලසන්ත ඝාතනය කළේ තමා යැයි පවසමින් කෑගල්ලේදී පුද්ගලයකු සිය දිවි නසා ගත්තේය. ලසන්තගේ දේහය නැවත ගොඩගැනුණේ හිස් කබලින් පහත කොටසට උල් ආයුධයකින් පහරදී මරණය සිදු කොට ඇද්දැයි යන්න පරීක්ෂණ පැවැත්වීමටය. ලසන්ත ඝාතනය කෙරුණු සමය මෙරට යුද සමයකි. කිලිනොච්චි හා මුලතිව් යුද ජයග්‍රහණයේ පුවත් සමඟින් ලසන්ත ඝාතනයේ උණුසුම වියැකී යන්නට විය. එහෙත් ලසන්ත ඝාතනයට යොදා ගත් අවිය ආරක්ෂක අංශවලට අයත් එකක් යැයි සැක පහළ වී ඇත. යුද සමයේ මෙරටට බටහිර රටකින් අති නවීන පන්නයේ ආයුධ අටක් ඇණවුම් කොට තිබූ බව තොරතුරු හෙළිවේ. එකම පන්නයේ ආයුධ අටක් වුවද එය වර්ග තුනකට අයත් බව කියැවේ. ඉන් කුඩාම ආයුධයකින් ලසන්ත ඝාතනය සිදු කරන්නට ඇත්දැයි මේ වනවිට කරුණු සොයා බැලෙමින් පවතී. උලක් ලෙස සිරුරට ඇතුළු වී තවත් කැපුම් තල කිහිපයක් විහිදෙන සේ සිරුරින් පිටතට පැමිණෙන ස්ප්‍රිං වර්ගයේ ආයුධයක් බවට තොරතුරු හෙළි වෙමින් තිබෙන බව පරීක්ෂණ ආරංචි මාර්ග කියයි.
ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩට ගැනුණේ නොවිසඳී තිබූ අබිරහසක ගැටලු සහගත තැන් ලිහා ගැනීමටය. ගැටලු ලිහා ගන්නට පටන් ගත් විටම ඔක්තෝබර් දාහතර වැනිදා බුද්ධි අංශයේ විශ්‍රාමික සැරයන්වරයකු දිවි නසා ගත්තේ ලසන්ත ඝාතනයට වගකිව යුත්තේ තමා බව පවසමිනි.
“මැරුණු කෙනාට මම කතා කරන්නේ රාජා මාමා කියලා. එයා මගේ අසල්වැසියෙක්. මේ අය නිතරම වගේ මගේ ත්‍රිරෝද රථයෙන් ගමන් බිමන් යන්න මට කතා කරනවා. පසුගිය 11 වැනිදා රාජා මාමා ගෙදර ඉඳලා නැහැ. රාජා මාමගේ නෑනා ශ්‍රියාණි මට දුරකතනයෙන් කතා කරලා කිව්වා රාජා මාමගේ බාල පුතාව ත්‍රිරෝද රථයෙන් පාසලට එක්කගෙන යන්න එන්න කියලා. ඒ අතරේ රාජා මාමත් කතා කරලා කිව්වා දවස් තුනක් පොඩි පුතාව පාසලට එක්කගෙන යන්න කියලා. රාජා මාමා ඉන්න තැනක් ගැන නම් කිව්වෙ නැහැ. ඔහුට ඒ දවස් ටිකේ එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා.
“දාහතර වැනිදා උදේත් මම දරුවව එක්කගෙන පාසල් ගියා. මම පස්සේ කුලී ගමනක් යන්න ලෑස්ති වෙලා ඉද්දී රාජා මාමා මට දුරකතන ඇමැතුමක් දුන්නා. එතකොට වෙලාව 8.21ට විතර ඇති. රාජා මාමා කිව්වේ ‘පුතේ තව විනාඩි 6 – 7 තුළදී අපේ ගෙදරට එන්න, කියලා විතරයි. මම 8.30 විතර වෙද්දී රාජා මාමලාගේ ගෙදර ගියා. ෙදාර අඩවල් කරලා වහලා තිබුණු නිසා මම ෙදාර ඇරගෙන ගේ ඇතුළට ගියා. නිදන කාමරය වහලා තිබුණා. මම ඉදිරියට ගිහින් බලන විට කෑම කන කාමරය අසල වහලයේ රාජා මාමා එල්ලිලා ඉන්නවා දැක්කා. මම එළියට ඇවිත් කෑගහද්දී අසල්වැසියෝ එතැනට ආවා.”
මේ ඉකුත් 14 වැනිදා සිය නිවෙස තුළදී ගෙල වැලලාගෙන මිය ගිය කෑගල්ල කරඬුපන එපිටගෙදර වත්තේ පදිංචිව සිටි හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමලත් සාජන්ට් මේජර්වරයාගේ සිරුර මුලින්ම දුටු අසල්වැසි ත්‍රිරෝද රථ රියැදුරා ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකි.
ලසන්ත ඝාතනයේ පරීක්‍ෂණ වඩාත් සංකීර්ණ තත්ත්වයට පත්වනුයේ එතැන් සිටය. සිය නිවෙසේ බාල්කයේ නයිලෝන් ලණුවකින් ගෙල වැලලාගත් පනස් හත් හැවිරිදි එදිරිසිංහ ජයමාන්නගේ නම් විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර්වරයාගේ නිසල සිරුරෙහි තිබූ ලිපියකින් කියැවුණේ ලසන්ත ඝාතකයා ඔහු බවය.
“දැන ගත යුත්තන්ගේ දැන ගැනීම සඳහා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. එම නිසා මගේ යාළුවා වන මලින්ද උදලාගම වැරැදිකරුවෙක් නෙවෙයි. ඔහු නිදහස් කරන්න.”
මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න.
එදිරිසිංහ ජයමාන්න සිය සිරුරෙහි රඳවාලූ ලියමනෙන් උපුටා ගත් කොටස් කිහිපයක් ඉහතින් දැක්වීම්. කෑගල්ල මහ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී මියගිය අයගේ පුතකු වන අසිත ලක්මාල්, ජයමාන්නගේ මිනියෙහි තිබී හමුවූ ලිපිය තම පියා ලියූවක් බවට හඳුනාගෙන ඇතත් එයද මේ වන විට ගැටලු මතුකරන්නක් බවට පත්වී තිබේ.
ලිපියෙහි අරමුණ වී ඇත්තේ ලසන්ත ඝාතනයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටින ප්‍රේමානන්ද උදලාගම නිදහස් කොට තමන්ගේ පිට වරද පටවා ගැනීම බව පැහැදිලිය. උදලාගම ජයමාන්නගේ යහළුවකු නම් මරණාසන්න මොහොතේ, සිය මිතුරා නිදහස් කර ගැනීමට අකුරු කරන ලිපියෙහි ප්‍රේමානන්ද උදලාගම වෙනුවට මලින්ද උදලාගම යන්නට ලියැවෙනුයේ කෙසේද යන්න පිළිබඳ ගැටලු මතු කරවයි.
ලසන්ත ගොඩගත් පසු එකවරම ජයමාන්නගේ නම් චරිතයක් මතු වූයේ ලසන්තගේ ඝාතකයන් පිළිබඳ නිගමනයක් ඉදිරිපත් වී නොතිබුණු සමයකය.
දිවි නසාගත් විශ්‍රාමික සාජන්ට් මේජර්වරයාගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණයේ නිගමනය වී ඇත්තේ තංගුස් ලණුවකින් ගෙල සිරවීමෙන් ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාව නිසා සිදුවූ මරණයක් යන්නය. යුද හමුදා මාධ්‍ය වාර්තා සනාථ කරනුයේ මේ පුද්ගලයා 2007 වර්ෂයේදී නිල වශයෙන් යුද හමුදා බුද්ධි අංශ සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවනුයේ 2009 වර්ෂයේදීය. 2007 වර්ෂයේදී විශ්‍රාම ගිය බුද්ධි අංශ නිලධාරියකු ඉන් වසර දෙකකට පසු සිදුවූ ඝාතනයක වරද තමා පිට පටවා ගනුයේ කෙසේද යන්න පිළිබඳ දැනටමත් රහස් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.
ලසන්ත ඝාතනයට අදාළව ආරක්‍ෂක අංශ නිකුත් කළ දළ රූප සටහන් දෙකෙහි සිටින පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකුගේ රූපයට දිවි නසාගත් ජයමාන්න යම් තරමකින් සමානය. සැබෑ රූපයේ යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව කටුසටහනේ රූපය හා ජයමාන්න සැසඳේ. එසේ වූ පළියට ජයමාන්න පිට ලසන්ත ඝාතනයේ වගකීම පැටවිය නොහැකිය.
ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකුත් මාස නවයකුත් දවස් හයකුත් ගතවන තුරු ලසන්ත ඝාතනයේ වගකීමෙන් බේරී ජයමාන්නට යෙහෙන් සිටීමට හැකිවූයේ කෙසේද? ලසන්තගේ දේහය ගොඩ ගෙන දින දාහතක් යන්නටත් මත්තෙන් එකවරම ජයමාන්නට ලසන්තගේ ඝාතනයේ වගකීම තමා පිට පටවා ගනිමින් දිවි නසාගන්නට සිතුණේ කෙසේද! ඝාතනය සිදු කළේ ජයමාන්නම නම් උදලාගම නිදහස් කරන්න යැයි පමණක්ම ලියා තබා ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳ කිසිදු සාක්‍ෂියක් සටහන් නොකර දිවි නසා ගත්තේ ඇයි?
විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයාගේ මරණයත් සමඟ පැනනඟින ගැටලු රාශියකි. ලසන්ත ඝාතනයට සම්බන්ධව හෙළි වෙමින් පවතින තොරතුරු මත ඉදිරියේදී අත්අඩංගුවට පත්වීමට නියමිතව තිබූ සැකකරුවන් ලැයිස්තුවේ ජයමාන්නගේ නමද තිබූ බව කියැ වේ. දිවි නසාගන්නට කලින් දින ජයමාන්න රාත්‍රි හතට පමණ නිවෙසට පැමිණ තිබුණේ කොළඹ ගොස්ය. මිය යන්නට පෙර ජයමාන්නට කොළඹ යන්න සිතුණේ ඇයිද යන්න පිළිබඳ ගැටලුවකි. ජයමාන්න කොළඹ ආ ගමනේදී ප්‍රකට දේශපාලනඥයකුද හමුවී ඇති බවටද එහෙන් මෙහෙන් ආරංචි පැතිර යමින් පවතී. මිය යන්නට දින තුනකට පෙර ජයමාන්න සිටියේ නිවෙසින් පිටතය. ඔහු ආ ගිය තැන් පිළිබඳ කියන්නට කිසිවකුත් දැන උන්නේ නැත.
තම පියාගේ මරණය පිළිබඳ ජයමාන්නගේ වැඩිමහල් පුතු වන අකිත ලක්මාල් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ මෙවැන්නකි.
මිය ගිහින් තියෙන්නේ මගේ පියා. මගේ අම්මා දැනට අවුරුදු දෙකහමාරක සිට සෞදි ආරාබියේ පාසලක අධ්‍යාපන සේවිකාවක් ලෙස සේවය කරනවා. මට මල්ලිලා දෙන්නෙක් සිටිනවා. අපි සියලු දෙනාම පදිංචිව සිටින්නේ කරඬුපන දෙණිපිටිය පාරේ එපිටගෙදර වත්තේ නිවෙසේ. මම කඩවත පෞද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටිනවා. මල්ලිලා දෙදෙනාම තවමත් පාසල් යනවා. තාත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකුව සිට විශ්‍රාම ගෙන පසුව පෞද්ගලික ආරක්‍ෂක සේවාවක ආරක්‍ෂක සේවයේ යෙදී සිටියා. ඔහු මිලේනියම් සිටි සිද්ධියේදී අත්අඩංගුවට ගෙන මාසයක් පමණ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියා. වසර තුනකට පසුව ඔහු නඩුවෙන් නිෙදාස් කොට නිදහස් කර සිටියා. පසුව ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තා.
තාත්තා දුම්වැටි මත්පැන් සාමාන්‍ය විදියට පාවිච්චි කළා. සිද්ධිය වුණු දිනට පෙර දින (13දා) ලොකු මල්ලීට තරගයකට සහභාගි වීමට ඉන්දියා යෑමට තිබුණු නිසා තාත්තා ඒ සියලු කටයුතු සිදු කර දුන්නා. 13 වැනිදා රාත්‍රි 7.30ට පමණ තාත්තා කොළඹ ගිහින් නිවෙසට පැමිණියා.
ජයමාන්නගේ පවුලේ තොරතුරුවලට අනුව ජයමාන්න හා දරු තිදෙනා අතර ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව පැවැතියේ නැති තරම්ය. දින තුනක සිට නිවෙසින් පිටත කාලය ගතකොට නැවැත පෙරළා නිවෙසට පැමිණ පැය විසිහතරක්වත් ඉක්ම යන්නට කලින් දිවි තොර කර ගැනීමට ක්‍රියාකිරීම සහ ජයමාන්නගේ දින තුනක කිසිවකුටත් නොකියා ගිය ගමන අතර සම්බන්ධතාවක් ඇතැයි රහස් පොලිසිය සැක පහළ කරයි. මේ මරණය සිදුවූ දවසේ ජයමාන්නගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමැතුම් පිළිබඳ රහස් පොලිසිය මේ වන විටත් පරීක්‍ෂණ අරඹා අවසන්ය.
ජයමාන්න සිය අවසන් ලිපියෙන් නිෙදාස් කරන්නට උත්සාහ දැරූ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි උදලාගම බැලීමට ජයමාන්න අවස්ථා කිහිපයකදීම වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතී. උදලාගම හා ජයමාන්න මිලේනියම් සිටි සිද්ධියට සම්බන්ධව සැකකරුවන් ලෙස හඳුනාගත් නව දෙනාගේ කණ්ඩායමටද අයත් වූවන් වේ.
ඉකුත් දහසය (16දා) වැනිදා සවස රඹුක්කන, පුවක්දෙණිය සුසාන භූමියේදී මිහිදන් කරන්නට යෙදුණු හිටපු බුද්ධි අංශ සාමාජිකයාගේ දේහය පසුගියදා (19දා) නැවත ගොඩගැනුණේ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයකිනි. එයට අමතරව රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මියගිය ජයමාන්නගේ නිවෙස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්ද නිකුත් කොට තිබිණි. නැවත ගොඩ ගත් හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සාජන් මේජර්වරයාගේ දේහය ඉදිරියේදී සැගවී ගිය තවත් බොහෝ කරුණු හෙළි කරනු ඇත.
Loading...

No comments: