ඇත්ත කතාවක් කියන්න හිතුනා. මේක මගේ යාලුවෙකුට වුණු සිද්ධියක්.
Loading...
කාලෙකින් කතාවක් කිව්වේ නැති නිසා, ඇත්ත කතාවක් කියන්න හිතුනා. මේක 2005 විතර මගේ යාලුවෙකුට වුණු සිද්ධියක්. මේ කියන යාලුවා වැඩකරපු කම්පැනියෙන් කරන්නේ ලංකාවේ බොහොමයක් තේ ෆැක්ටරිවල ගිණුම්කරණ සොෆ්ට්වෙයාර් සැකසීම හා නඩත්තු කිරීමයි. මේ නිසා මේ යාලුවට උඩරට වතුකරයේ බොහොමයක් කාර්යාල වලට රාජකාරි වැඩ සදහා යාමට සිදුවෙනවා. මේ සමහර වතු තියෙන්නේ ප්රධාන මාර්ගවලින් කිලෝමීටර් බරගානක් ඇතුලට වෙන්න. පොදු ප්රවාහන සේවා පවා නැහැ. කොටින්ම ඕෆ් රෝඩ් යන්න ඕනේ. මේ වගේ හද්ද ඇතුලට වෙන්න තියෙන වතුවලට ගිහින් දවසින් එන්න බැහැ. ඒ නිසා එදා රෑ නවතින්නේ වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයාගේ ගෙදර. මේ ඈත වතුවල සුපිරින්ටෙන්ඩන්ට්ලා හුගක් වෙලාවට අවිවාහක තරුණයෝ. එයාල ඉන්නේ නිල බංගලාවක, උයන්න අප්පුවෙකුයි, මුරකාරයෙකුයි, උයන්පල්ලෙකුයි තියාගෙන, කයිසාරුවත්තේ මුහන්දිරම් කෙනෙක් වගේ. මේ විදිහට හුගක් ඇතුලට වෙන්න තියෙන බංගලා ඔක්කොම වගේ එදා සුද්දා හදපු විදිහටම තාමත් තියෙනවා. කැලේ ඇතුලට වෙන්න පාලුවට වගේ තියෙන මේ බංගලා බැලූබැල්මට හරිම ගුප්තයි.
කොහොමහරි, මම මේ කියන යාලුවා වැඩවලට ගිහිල්ලම ඔය වතුවල සුපිරින්ටෙන්ඩන්ට්ලා එක්ක ෆිට්. එක වයසේ වගේ නිසාත්, කනබොන කට්ටිය නිසාත්, වැඩවලට ගිහින් බංගලාවල නැවතුනාම සුපිරින්ටෙන්ඩන්ට් එක්ක හොද අඩියක් එහෙමත් ගහල තමයි එන්නේ. මේ කියන දවසේ මගේ යාලුවා තවත් එයාගේ ඔෆිස් එකේ එක්කෙනෙකුත් එක්ක ගියේ තලවකැලේ පැත්තේ වත්තක වැඩකට. තලවකැලේ කිව්වට, තලවකැලේ ටවුමේ ඉදල කිලෝමීටර් බරගානක් කැලේ මැදින් ඇතුලට යන්න ඕන. මේ පැත්තේ නිතරම වහින නිසාත්, බොහෝ විට අදුරු නිසාත් මේ වගේ පාලු ප්රදේශ කළුවර වැටීගෙන එද්දී අද්භූතයි වගේ. යාළුවයි සගයයි එතැනට ගිහින් හවස් වෙනකන් වැඩේ කරගෙන ගිහින්. දන්න අදුනන වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් ඇවිත් කිව්වලු "මචං පොඩි වැඩකට අද හවස කොලබ යන්න වෙලා. උබල බංගලාවට ගිහින් රිලැක්ස් එකේ හිටපල්ලා. මම අප්පුවට කිව්වා ඔල්ලෝම ලෑස්ති කරලා තියන්න කියල".
ඔන්න ඉතින් අපේ සොෆ්ට්වෙයාර් කොල්ලෝ දෙන්න දැන් අර කියපු බංගලාවට ගිහින්. බංගලාව අවට ලගපාත වෙන කිසිම ගෙයක් දොරක් නැහැ. හද්ද පාලුයි. තද වැස්සත් එක්ක. බංගලාවේ අප්පු මේ දෙන්නව හොදින් පිලිඅරගෙන. මුලින්ම තේ හදල දීල. හැබැයි තේ 3 ක් ඇවිත්. ඔය අප්පුලා ටිකක් පිස්සු පොරවල් හින්දා වැඩි හොදට වැඩිපුරත් හදන්න ඇති කියල හිතුවලු. අඩියක් ගහන්න ගියහමත් අප්පු වීදුරු 3 ක් තියල. කෑම මේසෙට ගියාමත් පිගන් 3. නාන කාමරේ තුවා 3යි. ඉන්නේ දෙන්නා උනාට අප්පු හැමදේම කරන්නේ 3 න 3න. මේ බංගලාවල තියෙන කාමරවල ඇදන් 4 - 5 දාන්න පුළුවන්. ඒ වගේ කාමරයක, අප්පු ඇදන් 3 කුත් පිළියෙළ කරලා. අපේ යාලුවෝ ඕක ගැන වැඩිය හිතලා නැහැ. පහුවෙනිදා උදේ යන්නනේ ඉන්නේ.
කොහොමහරි පහුවෙනිදා උදේ තේ එහෙම බීලා එලියට බැහැල, යාලුවෝ දෙන්න අප්පුට ස්තුති කරන්න ගියාලු. එතකොට අප්පු මෙහෙම ඇහුවලු "කෝ මහත්තයෝ අර අනිත් මහත්තය උදෙන්ම පිටත්වුනාද ? කිසි කතාබහක් තිබ්බෙත් නැහැ, මගෙන් අඩුපාඩුවක්වත් උනාද මන්දා. එහෙම උනොත් අපේ සර් ගෙන් බැණුම් තමයි ඉතින් "
මේක ඇහුනු යාලුවෝ දෙන්නගේ කකුල් පණනැති වෙලා දාඩිය දාන්න පටන් අරන්. හැමදේම 3 න 3න ආවේ ඇයි කියල පැහැදිලිවුනේ ඒ වෙලාවේ. මේ දෙන්නා එක්කම තව කෙනෙක් ඉදලා. මෙයාල ආයේ කවදාවත් ඒ පැත්ත පලාතක ගිහින් නැහැ. ඉස්සර සුද්දෝ රට පාලනය කරද්දී ඔය බංගලාවේ හිටපු සුද්දෙක් එල්ලිලා මැරිලා තියෙනවා කියල ඔය පැත්තේ කතාවක් තියෙන බව පස්සේ ආරංචි වුනා.
ඔත්තුකරු__:
ඔත්තුකරු__:
Loading...
No comments: