Lanka Net Gossip

මිනී එම්බාම් කරන රුවන්වැල්ලේ කුමාරි

Loading...

මිනී එම්බාම් කරන්න පිරිමින්ට විතරක් නෙමෙයි නිර්භීත ගැහැණු කෙනෙක් ඒ වෙනුවෙන් ඉන්නවා  

ඒක අගය කරන්න  ශෙයා කරන්න 

ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා 

පසුගිය සතියේ හිතවතකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා රුවන්වැල්ලට ගියෙමු. අප එහි යන විටත් මෘතදේහය රැගෙන විත් තිබුණේ නැත. රාත්‍රියේ අවමංගල්‍ය රථය පැමිණ නිවස ඉදිරියේ නවත්වන විට නිවැසියන් හැඬූ කඳුළින් රථය අසලට රොක් වූහ. අපද රථය අසලට ළංවූ විට දැකගත හැකි වූයේ ඇදහිය නොහැකි සිද්ධියකි. මෘතදේහය රැගෙන අවමංගල්‍ය රථය පදවාගෙන ආවේ ළාබාල සුකුමාල තරුණියකි. අවමංගල්‍ය රථ පදවන එසේ නැතිනම් අවමංගල්‍ය ශාලාවල සේවය කරන කාන්තාවක් ගැන අප මින් පෙර කලාතුරකින් අසා තිබුණු බැවින් මේ තරුණිය ගැන අපට ඇතිවූයේ කුතුහලයකි. අපට එසේ වුවත් හත්කෝරළයේ නම් එය සාමාන්‍ය සිදුවීමක් විය. ගම්මුනට නම් ඇය හර්ස් පැදවීම සාමාන්‍ය සිද්ධියකි.
ඇය රුවන්වැල්‍ලේ කුමාරි මල්ශාලාවේ හිමිකාරිය වන දිනූෂා කුමාරිය. ඇගේ වයස අවුරුදු විසිදෙකකි. කුමාරිගේ රැකියාව මෙන්ම ව්‍යාපාරයද වන්නේ මිනීපෙට්ටි සාප්පුවක් පවත්වාගෙන යාමය.
කුමාරිගේ කතාව ඇසූ විට අප සිහියට නැගුණේ මෑතකදී තිරගත වූ 'නිකිණි වැස්ස' චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ චාන්දනී සෙනෙවිරත්නගේ රංගනය රටක් පුදුමයට පත් කළේ ඇය එහි සෝමලතා නම් මිනී එම්බාම් කරන තරුණියකගේ චරිතය රඟපාන නිසාය.
චිත්‍රපටය ඇරඹෙන්නේද මල්ශාලාවක ඇතුළත දර්ශනයකිනි. නමුත් මේ දිනූෂාගේ කතාව ඊට වෙනස්ය. ඒ වන විට දිනූෂා වයස අවුරුදු පහළොවක දැරියකි. සම වයසේ දැරියක් කෙළි සෙල්ලම් කරන විට කුමාරි තාත්තාගේ මිනී පෙට්ටි සාප්පුවේ අත්උදව්වට ගියාය.
තාත්තේ ඉන්න මම උදව් කරන්නම් යැයි පවසමින් ඇය කෙළින් සිටුවා ඇති මළ සිරුර නහවන්නට සිය පියාට උදව් කරන්නට පටන් ගත්තාය. වැඩිහිටියන් පවා මළ මිනිසුන්ට, හොල්මන්වලට බිය වුවත් දිනූෂා බය කියන්නේ කුමක්දැයි හඳුනන්නේ නැත. ඒ පැටි වයසේ සිට ඇය හැඳී වැඩුණේ මළසිරුරු ඇති මල්ශාලාවක නිසා වෙන්නැතිය. දිනූෂාගේ උපන් ගම රුවන්වැල්ලය. ඇය පාසල් ගියේ රුවන්වැල්ල මහා විද්‍යාලයටය. එහිදී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ දිනූෂා මේ වනවිට ඇගේම මල්ශාලාවක හිමිකාරියකි.
ඇගේ පියාත් වෘත්තියෙන් මල්ශාලාවක සේවය කළ අයෙකි. එවකට ඔහු රුවන්වැල්ල සමුපකාර මල්ශාලාවේ සේවයේ නියුතුව සිටියේය. පාසල නිමවී පැමිණෙන දිනූෂා දිවයන්නේ සමුපකාර මල්ශාලාවටය. ඒ සිය පියාට උදව් වීමටයි. එහි යන එන දිනූෂා කෙළි සෙල්ලම්
කළේද මිනීපෙට්ටි අතරය. ඒ අතරම එම්බාම් කරන්න නියමිත මිනී එම්බාම් කරන්නට ඇය සිය පියාට සහය වන්නීය. කමෛන් කාලය ගතවත්ම තමන්ගේම කියා මිනී පෙට්ටි සාප්පුවක් අරම්භ කරමු යැයි ඇය පියාට යෝජනා කරන්නීය.
තාත්තේ අපි ගෙදරම මිනී පෙට්ටි කඩයක් පටන් ගමු. තාත්තා වැඩට කාවවත් ගන්න ඕන නැහැ, මම හැමදේම බලාගන්නම් එසේ නිවසේ ආරම්භ කරන මිනී පෙට්ටි සාප්පුවේ සියලු වැඩකටයුතු ඇගේ කරට ගන්නට තවත් හේතුවක් තිබුණේය. ඒ ඇගේ පියා මිනීපෙට්ටි සාප්පුවේ වැඩවලට අමතරව වාහන අලුත්වැඩියා කටයුතුද කරන බැවිනි. ඔහුට සහයකයෙක් නොමැති අතර සහයට සිටියේ දිනූෂා පමණි. මිනී පෙට්ටි සාප්පුවේ වැඩ නොමැති විට පවු‍ලේ දිවි රැකෙන්නේ මේ වාහන අලුත්වැඩියා කටයුතු නිසා බැවින් ඇගේ පියාට වැඩ අධික විය.
පුංචි කා‍ලේ ඉඳලා මම තාත්තාට හැමදේටම උදව් කළා. මම පවු‍ලේ එකම දරුවා. තාත්තා හැමවෙ‍ලේම කිව්වේ එයාට කොල්ලාටයි කෙල්ලටයි ඉන්නේ මම කියලා. කවදාවත් එයා මම කරන දේවල්වලට තහංචි දැම්මේ නැහැ. නරක දේවල් වැරදි දේවල් කරන්නේ නැතිව මිනී එම්බාම් කළත් කමක් නැහැ කියලයි තාත්තා කිව්වේ එලෙසින් දිනූෂා වාහන පදවන්නට මෙන්ම මිනී එම්බාම් කරන්නටත් පුරුදු වූවාය. එපමණක් නොව කල්යත්ම ඇය එය සිය ජීවිකාවද කර ගන්නීය.
ඇය වෙනස් රැකියාවක් තෝරාගත් නිසා රැඩිකල්, අසම්ප්‍රදායික, නූතන පන්නයේ තරුණියක වන බවක් බොහෝදෙනකුට සිතෙන්නට පුළුවන. සිය ජීවනෝපාය ලෙසින් කසිප්පු පෙරන, ‍පොල් ගස් නගින, කුලී වැඩ කරන, ත්‍රිරෝද රථ පදවන ගැහැනුන් ගම්වල ඕනෑතරම් සිටිති. රැකියාව ලෙස කුමක් කළත් මේ කාන්තාවෝ සෑම අතින්ම අනෙක් කාන්තාවන්ට සමාන සාමාන්‍ය කාන්තාවෝ වෙති. දිනූෂා ද එසේය.
කරවනැල්ල රෝහ‍ලේ මියයන අයගේ මෘතදේහ බොහෝවිට රැගෙන එන්නේ දිනූෂාගේ මල්ශාලාව වෙතය. ඇය අවශ්‍ය ආම්පන්නද සූදානම් කරගෙන මෘතදේහයට කිට්ටු වන්නේ එම්බාම් කිරීමටය. කිසිවෙකුගේ උදව් නැතිව ඇය මුලින්ම මෘතදේහය නහවා පිරිසිදු කරන්නීය. දෙවනුව හොඳින් පිසදමා ඇය මරණ පරීක්ෂණයේදී කැපූ ස්ථාන මසන්නීය. අවශ්‍ය නම් සිරුර තුළ ඇති ජලයද ඉවත් කරන්නීය. සුවඳ විලවුන් ගල්වා පසුව ඇය සැරසෙන්නේ එම්බාම් කටයුත්තේ දෙවැනි අදියරටය. ඇඳුම් අන්දවා සිරුර මිනී පෙට්ටියේ තබා අලංකරණ කටයුතුද නිමවා මිනී පෙට්ටිය සූදානම් කර මියගිය අයගේ හිතවතුන්ට පෙන්වීම ඊළඟ අදියරයි.
ගොඩක් වෙලාවට මම තනියම තමයි සම්පූර්ණ එම්බාම් එකම කරන්නේ. මගේ ගෙදර පැත්තකමයිි මල්ශාලාව තියෙන්නේ. මම නිදාගන්නේ මෙහෙමයි. තාත්තා ගොඩක් වෙලාවට ගරාජ් එකේ වැඩ. මම තනියම හරි එම්බාම් එක කරලා ගෙදරට භාරදෙනවා දිනූෂා කියන්නේ සැහැල්ලුවෙනි. දිනූෂා දකින විට අපට හැඟෙන්නේ තවමත් විසිදෙවැනි වියේ පසුවන ඇය ජීවිතය ගැන මොනවානම් දන්නවාද කියාය. එහෙත් ඇයගේ ක්‍රියාකලාපය ඇගේ පරිණත බව කියාපායි.
තවමත් පෙම්වතෙක් නොමැති ඇයට පාසල් වියේදීද පෙම්වතෙකු නොසිටි බව ඇය කියන්නීය. ඇගේ නිදහස් වෙලාව ඇය යොදා ගන්නේ රූපලාවන්‍ය හා විලාසිතා කරන්නටය.
ඒ අතරම මට ඇගෙන් අසන්නට සිත්වූ එකම එක පැනයක් විය. එනම් ඇය වැන්නියක විවාහ කරගන්නට කෙනෙක් කැමති වේදැයි කියාය.
තවම විවාහය ගැන හිතලා නැහැ. දවසක විවාහ වෙනවා. ඊට කලින් හොඳ ගෙයක් හදලා හොඳ වාහනයක් ගන්න ඕනෑ. ඊට පස්සේ මනමාලයෙක් කැන්දාගෙන එනවා. මාව වගේම මගේ රැකියාව තේරුම් ගන්න පුළුවන් මාත් එක්ක එකතු වෙලා අපේ මේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් තමා මම මගේ ජීවිතේට සම්බන්ධ කර ගන්නේ. හැමදාම මිනිස්සු මැරෙන්නේ නැහැනේ. එනිසා තමා මම අපේ ගැරේජ් එකත් දියුණු කරගන්න ගොඩක් උත්සාහ කරන්නේ. අනික මම කවදාවත් මිනිස්සු මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ
ජීවිතය හා හරි හරියට හැප්පෙමින් පිරිමියෙකු වගේ වැඩ කළද ඇය තම රැකවරණය සහ ආදරය උදෙසා පිරිමියෙකු පතන්නීය.
ජීවිතේ කියන දේ විශ්වාස කරන්න අමාරුයි. මම දවස ගානේම මරණය කියන දේ ළඟින්ම අත්දකිනවා. ජීවිතේ කියන දේ කවදාවත් ආපහු ගන්න බැහැ. මම හැමදාම හිතන්නෙ වගේම කියන්නෙත් ජීවත් වෙන ටික කාලෙදී සතුටින් ජීවත් වෙන්න කියලා. ‍පොදි බැඳගෙන හිටිය මිනිස්සු ඒ සේරම දාලා අන්තිමට මුකුත්ම නැතිව යන්න යනවා. අන්තිමට හැමෝම
‍පොළවට පස්වෙනවා. ඕකයි ජීවිතේ යථාර්ථය. ඒ නිසා හැම කෙනාටම ආදරෙන් ජීවත් වෙන්න. මගේ ජීවිතේ තේමාව එයයි මේ අපූරු අදහස ඇය කියන්නේ ජීවිතාවබෝධය ලද්දියක පරිද්දෙනි. ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය හා මරණය නිතැතින්ම බැඳී තිබෙන්නේය. තම ජීවිකාව ලෙස දිනූෂාද තවත් කාලයක් මිනීපෙට්ටිවලට උර තියනු ඇත.

අකිලා නදීශානි බණ්ඩාර

ඡායාරූප : හාතාගොඩ ධර්මසේන
Loading...

No comments:

Powered by Blogger.