Lanka Net Gossip

ගමටම වතුර විකුණන “වැව් බැඳි රටේ“ පයිප්ප වතුර කඩේ මෙන්න බලන්නකො මෙච්චර වතුරතියන රටක වතුරවලට ගිය කලක්

Loading...

ගමේ කඩේ එදත් අදත් විවෘතව මැනලා විකුණන දියර වන්නේ භූමි තෙල්/ලාම්පු තෙල්, පොල් තෙල් පමණයි. ඉන්ධන පිරවුම්හලේදී භූමි තෙල්, පෙට්‍රල් හෝ ඩීසල් මැනලා අලෙවි කෙරෙනවා. ඒත් දැන් ගමේ කඩවල වතුරත් ලීටර ගණනට මැනලා විකිණෙනවා. මෙහෙම වතුර ලීටර් ගණනට මිලට ගන්නේ මහා වැව් හා වාරි සංස්කෘතියකට හිමිකම් කියූ අපේ මිනිස්සු. මහා ජලධාරිතාවක් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් කෙත්වතු සරු කර අපට බත සරිකර දුන්නේ ඔවුන්. ඒත් අද ඔවුන් සාපිපාසාව නිවා ගන්නේ ගමේ කඩේ වතුර පයිපයෙන් ලීටරයකට රුපියල් දෙකක් බැගින් ගෙවල ගෙදර ගෙනයන වතුර ටිකෙන්.
මාරාන්තික වකුගඩු අවධානමෙන් මිදෙන්න ඔවුන්ට මේ සටන කරන්න සිදුව තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේදී මේ අප ලද අත්දැකීමක්. මේ ප්‍රදේශයේ නිවෙස් බහුතරයක වකුගඩු රෝගීන් සිට්නවා. ඇතැම් නිවෙස්වල මේ වනවිටත් වකුගඩු රෝගයෙන් කිහිපදෙනෙක් මිය ගිහින්. පානීය ජලය මෙහි ප්‍රමුඛ හෙතුව බවට කෙරෙන දැනුම්දීම් සමග මේ ප්‍රදේශවල ජනතාව පිරිසිදු පානීය ජලය පිළිබද සැලකිලිමත්. තමන්ට මුහුණදීමට සිදුව ඇති ඛේදවාචකය අනාගත පරපුරට උරුමකර දීමට වැඩිහිටියන් සූදානම් නැහැ. එනිසාම ඔවුන් සල්ලි දීලා වතුර බොන ගම්මු බවට පත්වෙලා.
පදවි පරාක්‍රමපුර, 80 කොළණියේ ප්‍රදීප් ජයලාල් තරුණ මුදලාලිගේ ආශා ට්‍රේඩ් සෙන්ටර් එකේ පයිපෙන් වතුර ලීටරයක් විකිණෙනෙන්නේ රුපියල් දෙකකට. ජයලාල් මුදලාලි පදවි පරාක්‍රමපුර-පදවිය පාරේ පිහිටි පැරකුම් ප්‍රජා මූල ජල ව්‍යාපෘතියෙන් දිනක් හැර දිනක් ලීටර් 1000 ටැංකියක් පුරවාගෙන එන්නේ බට්ටා වර්ගයේ කුඩා ලොරියකින්. එහි වතුර ලීටරයක් නිකුත් කෙරෙන්නේ රුපියලකට. කිලෝමීටර් තුනක් පමණ දුර ගෙවා පැමිණෙන ජයලාල් එම ජල ටැංකිය සිය ව්‍යාපාරික ආයතනයේ වහලය මත ඇති ටැංකියට විදුලි මෝටරයක ආධාරයෙන් පුරවනවා. ඉන් පසුවයි පහළ පිහිට් ජල කරාමයෙන් වතුර නිකුත් කෙරෙන්නේ.
පැරකුම් ප්‍රජා මූල ජල ව්‍යාපෘතියට සම්බන්ධ සාමාජිකයන් ගණන 750 ක්. නල මාර්ගයෙන් ඇතැම් සාමාජිකයන් නිවෙස්වලට ජලය ලබාගෙන ඇතත් එම ජලය පානය කිරීමට සුදුසු නැහැ. ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පිරිපහදු කෙරෙන ජලය පමණක් බීමට නිර්දේශ කර තිබෙනවා. එකී ජලය එම ස්ථානයට ගොස් මිලදී ගන්න පුළුවන්. ඒ ලීටරයක් රුපියලකට. ලීටරයේ බෝතලයේ සිට ලීටර් 30-35 ගැලුම්වලට ගම්මු ජලය රැගෙන යනවා. ජලයට, ප්‍රවාහණයට මුදල් සහ ඔවුගේ කාලයද මේ සදහා කැප කිරීමට සිදුව තිබෙනවා.
ජයලාල් මුදලාලි තම කඩේට වතුර ගෙනත් ලීටරය රුපියල් 2.00කට විකුණුවත් කරන්නේ සේවයක්. ගම්මු ඒ ගැන කිව්වා. “බොහෝ වයසක අයට දවස ගානේ දුර බැහැරට ගිහින් වතුර ගේන්න බැහැ. අනෙක කාලය. එවගේම කිලෝමීටර් තුනක් දුර ගිහින් වතුර අරගෙන ආපසු එනකොට යන වියදම වැඩියි. ලීටර් 30 ගැලුම් 2ක් ගෙනාවොත් වතුරවලට යන්නේ රුපියල් 60/=යි. ත්‍රීරෝධ රථයට රුපියල් 200/=ක්වත් දෙන්න ඕන. ඒවගේම ගෙවල් ලග නිසා හදිස්සියකදි ඉක්මනට වතුර ටිකක් ගන්න පුළුවන්”.
මෙහෙම ප්‍රදේශවාසීන් ලීටරයක් රුපියලකට හෝ දෙකකට ගෙන යන වතුර ටික පාවිච්චි කරන්නේ බොන්න සහ කෑම උයන්න විතරයි. ආශා ට්‍රේඩ් සෙන්ටර් එකෙන් වතුර මිලදී ගන්න කෙනෙක් සමග අප කතා කළා. “අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. අපි වතුර ගෙනියන්නේ ලීටර් 30 ගැලුමට. දවසක් හැර දවසක් ගැලුමක් බයික් එකේ බැදගෙන අරගෙන යනවා.” ඒ අනුව ඔවුන් මසකට ගෙනයන වතුර ගැලුම් ගණන 15 ක්. ප්‍රවාහණයට වැය වන මුදලද, කාලයද පිරිවැයක් ලෙස නොසලකා ගත්තද බීමට සහ ආහාර පිසීමට පමණක් ඔවුන්ට මසකට රුපියල් 900/=ක් (60×15) වැය කිරීමට සිදුව තිබෙනවා. මේ බොහෝ දෙනා ගැමියන්, ගොවීන්.
රුපියල් 10/=ක් දීලා ලීටර පහේ බෝතලයකට වතුර පුරවාගෙන පාපැදියේ හැඩලයේ එල්ලාගෙන යන මැදිවියේ ගැමියන් දකින විට ඇතිවන්නේ මහත් සංවේගයක්. ඒ වතුර ටිකට යන මුදල නිසාම නොවෙයි. ජීවිතය පිළිබද ඇති අවිනිශ්චිතතාවට ඔවුන් මුහුණ දීමට දරණ ප්‍රයත්නය නිසා.
අප දන්නා තරමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල 5 දෙනෙකු පමණ සිටින ඇතැම් පවුල්, ජල සම්පාදන මණ්ඩලයෙන් නිවසට නල මගින් ජලය ලබා ගෙන මසකට රුපියල් 500/= ක පමණ බිල් පතේ සීමාව තබා ගැනීමට සමත්. ඔවුන් එම ජලයෙන් සනීපාරක්ෂක පහසුකම් ද සලසා ගෙන, රෙදි සහ වාහනද සෝදා, මල් පැලවලට හා ගෙවත්තටද දමා, බල්ලන් හා පූසන්ද නාවා එය කළමනාකරණය කර ගැනීමට සමත් වනවා. එහෙත් අව් කාෂ්ටකේ ඩහදිය හලා ගොවිතැන් කර, සිය කෘෂි භෝගවලට නිසි මිලක්ද නොලැබ, වන අලි බියෙන්ද අධ්‍යාපනය ඇතුළු බොහෝ පහසුකම්වලින් අවවරප්‍රසාද සහිතවද සිටින මේ ගොවි ජනතාවට බොන වතුරට පමණක් මසකට අනිවාර්යය මුදලක් වැය කිරීමට සිදුව තිබීම ඛේදවාචකයක්. ‍රතුපස්වලදී නැගුණා සේ හඩ අවදි කිරීමක් හෝ නොමැතිව මේ ජනතාව නිහඩව මේ අවධානමට අවිහිංසකව මුහුණදෙමින් සිටිනවා.
මේ ප්‍රදේශවල භූගත ජලයට කැඩ්මියම්, ආසෙනික්, ග්ලයිපොසේට් යනාදිය මුසුව ඇති බව ප්‍රකාශ කෙරෙනවා. එය එසේ සිදුව ඇත්නම් ඒවා අහම්බයක් නොවෙයි. අපගේ දුරදක්නා බව නොතිබීම ඊට මූලික හේතුවක්. එදා ඒක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා, රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු බවට කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් එවකට ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් වෙත ලියා යැවූ ලිපිය අපට මෙකී යථාර්ථය පසක් කර දෙනවා. “මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ටම සිදුකරගත්තා වෙයි.” සියැටල් කියූ පරිදිම අපට අද භුක්තිවිදීමට සිදුව ඇත්තේ අප කළ දෙයහි අනිටු ප්‍රතිඵලයයි.
අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහිම පවතින වකුගඩු අවධානමට/ව්‍යසනයට මුදලට ජලය ලබා දුන්නද මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත්. එහෙත් මෙලෙස ජලය විකුණන හෝ මිලට ගන්නා සංස්කෘතියක් අපට හුරු නැහැ. නිරාවරණය වූ ඇල-දොල, ගංගා සහ වැව්වලින් කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව එදා දිය දෝතක් බිවූ අපට එය දැන් සිහිනයක්. දිය දෝත විෂ දෝතක් වූයේ කාගේ වරදකින්දැයි සොයනවාට වඩා ප්‍රශ්නය තවදුරටත් අනාගතයට ගෙන නොයාම සදහා සාමූහික පිළියම් සෙවීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් මෙන් ජල පිරවුම්හල්ද රටපුරා ඇරඹීමට සිදුවනු ඇත.
padaviya-www-nethnews-lk00001 padaviya-www-nethnews-lk00002 padaviya-www-nethnews-lk00003 padaviya-www-nethnews-lk00004 padaviya-www-nethnews-lk00005 padaviya-www-nethnews-lk00006 padaviya-www-nethnews-lk00007 padaviya-www-nethnews-lk00008 padaviya-www-nethnews-lk00009
Loading...

No comments:

Powered by Blogger.